ජාතික ආණ්ඩුවකට සර්ව පාක්ෂික වැඩ පිළිවෙළක් – රනිල් වැඩ පටන් ගනියි

ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඇතැම් පිරිස් විසින් යෝජනා කොට ඇති ලෙස ජාතික ආණ්ඩුවක් ගොඩ නැගීමට නම් සියලු පක්ෂවලට එකඟ විය හැකි අවම ජාතික වැඩ පිළිවෙළක් අවශ්‍ය බව ප්‍රකාශ කරන එජාප නායක , හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා සියලු පක්ෂවල අදහස් විමසීම ආරම්භ කොට ඇති බව එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මේ රට මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩයාමට නම් වසර 15 කට වත් වෙනස් නොකරන ජාතික වැඩ පිළිවෙළකට සියලු පක්ෂ එකඟ විය යුතු බවත්, එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සියලු පක්ෂ කැප විය යුතු බවත්, බලයට එන පක්ෂය වෙනස් වුව ද පොදු වැඩ පිළිවෙළ වෙනස් නොවන බවට සහතිකයක් අවශ්‍ය බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී තිබේ.
පොදු වැඩ පිළිවෙලක් ගොඩ නැගීමේ ප්‍රවේශය ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකා ආර්ථිකය ගැන කළ අධ්‍යන වාර්තාව සහ එයට රජය දැක වූ ප්‍රතිචාර භාවිත කළ හැකි බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ වික්‍රමසිංහ මහතා එම ලේඛන ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂය මාර්තු 25 දා කොළඹ හයිඩ් පිටියේ දී මහා සත්යග්රහ ව්‍යාපාරයක් සැලසුම් කොට ඇති අතර එහි තේමාව ලෙස සියලු පක්ෂ සමගි කිරීම සහ වෛර දුරු කිරීමත් යොදාගෙන ඇත.
