ලොව මවිත කරමින් සටන් වැදුණු යුක්රේන ජනයා බටහිර ආකල්ප කණපිට හරවති

දැවැන්ත රුසියානු යුද බලය ඉදිරියේ යුක්රේනය දින කිහිපයකින් යටත් වනු ඇතැයි සිතා ඔවුන්ට යුද ආධාර දීම ද ප්‍රතික්ෂේප කර සිටි බටහිර ජාතීන්ගේ එම ස්ථාවරයන් යුක්රේන ජනයාගේ අධිෂ්ටාන සහගත සටන ඉදිරියේ කණපිට හැරී ඇති බව වාර්තා වෙයි.
යුධ ආධාර දෙනු වෙනුවට ඇමෙරිකාව සහ ප්‍රංශය කීවේ යුක්රේන ජානාධිපතිවරයා ආරක්ෂිතව රැගෙන යාමට කැමති බවයි. එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් අගනුවර රැඳී සිටින ජනාධිපතිවරයා යුද්ධය මෙහෙයවමින් සිටියි.
එම රටවල් යුද්ධයට පෙර ම තම තානාපති සේවා සහ වෙනත් කාර්ය මණ්ඩල එරටින් ඉවත් කර ගත්තේ ද රුසියන් හමුදා දින කිහිපයකින් යුක්රේනය යටත් කරනු ඇතැයි විශ්වාසයෙනි.
කෙසේ වෙතත් යුක්රේන හමුදාව සහ එරට ජනයා එකාවන්ව ඉදිරිපත් වී සටන් වැදීම නිසා මේ වනවිට බටහිර රටවල් ද ඔවුන්ට යුද ආධාර දීමට ඉදිරිපත් වෙමින් සිටිති.
යුක්රේන අගනුවර වන කියෙව් නගරය රුසියානු හමුදාවන්ගෙන් සාර්ථකව ආරක්ෂා කරගැනීම සඳහා මේ වන විට රටවල් රැසක් යුද ආධාර දීමට ඉදිරිපත් වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
ඇමෙරිකාව පැවසුවේ ඇමෙරිකන් ඩොලර් මිලියන 350 ක් ආධාර වශයෙන් ලබාදෙන බවත් ඉන් මිලියන 261ක් අවි ආයුද වන අතර එයට යුද ටැංකි නාශක ජැවලින් මිසයිල,ගුවන් යානා නාශක මිසයිල පද්ධති සහ ශරීර සන්නාහ ඇතුළත් වන බවත් ය.
ජර්මන් රජය පැවසුවේ යුද ටැංකි නාශක අවි 1000 ක් ද ගුවන් යානා නාශක ස්ටින්ගර් මිසයිල 500 ක් ද හදිසි යුද ආධාර ලෙස ලබා දෙන බවයි.
ලිතුවේනියාව,පෘතුගාලය,චෙක් ජනරජය,බෙල්ජියම,නෙදර්ලන්තය,ප්‍රංශය සහ ස්ලොවේකියාව ද යුක්රේන හමුදා ශක්තිමත් කිරීමට යුද ආධාර ලබා දීමට එකඟ වී ඇත.
ස්ලොවේකියා ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ ඇමෙරිකානු ඩොලර් මිලියන 12.39 යුද ආධාර ලබා දෙන බවයි.එයට මිලිමීටර් 120 ක පතොරම් වට 12,000 ක්, ඩීසල් ඉන්ධන ලීටර් මිලියන 10 ක් (එක්සත් ජනපද ගැලුම් මිලියන 2.64 ක්) සහ ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 2.4 ක් ඇතුළත් වේ.
චෙක් ජනරජය විසින් ඇමෙරිකන් ඩොලර් 8.57 ක යුද ආධාර යුක්රේනය වෙත ලබාදීමට කැමැත්ත පළකර ඇති අතර එයට මැෂින් තුවක්කු, ප්‍රහාරක රයිෆල් සහ අනෙකුත් සැහැල්ලු ආයුධ ඇතුළත් වන අතර, යුක්රේනය විසින් තෝරා ගන්නා ලද ස්ථානයකට චෙක් පාර්ශවයෙන් මෙම ආධාර යවන බව චෙක් ජනරජ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
බෙල්ජියම යුක්රේනයට ඉන්ධන ටොන් 3800ක් ලබාදීමට තීරණය කර ඇති අතර යුක්රේන හමුදාවට මැෂින් තුවක්කු 2000 ක් ද සපයනු ඇත.
පෝලන්තය යුක්රේනයට පතොරම් සහිත හමුදා රථ පෙළක් යවා ඇති අතර ලිතුවේනියාවේ යුද ආධාර හමුදා රථ මගින් යුක්රේනයට ලැබීමට සලස්වා ඇත.
මේ අතර රුසියානු හමුදාවන්ට යුක්රෙන සාමාන්‍ය ජනයාගේ ප්‍රහාර එල්ල වීම ගොඩබිම් සටන රුසියානුවන්ට ඉතා අපහසු තත්ත්වයට පත් කොට ඇති බව වාර්තා වෙයි.
මේ නිසා ප්‍රදේශ අල්ලාගැනීමටත් වඩා අලලාගත් ප්‍රදේශ රක ගැනීම රුසියානු හමුදාවන්ට අපහසු වනු ඇති බව නිරීක්ෂකයෝ කියති.
