රුපියල පා කරන්නත්, අයි එම් එෆ් යන්නත් කබ්රාල් බෑ ම කියයි ; ඉන්දියානු ණයත් නවතින ලකුණු !

වෙළෙඳපොළේ ඉල්ලුම සහ සැපයුම අනුව රුපියලේ අගය පා කරන ලෙස මුදල් අමාත්‍යංශයේ උපදේශකයින් කළ නිර්දේශ මෙන් ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ද තරයේ ප්‍රතික්ෂේප කරන ස්ථාවරයක මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිටින බව වාර්තා වෙයි.

රුපියල පා කර එහි නියම අගයෙන් ගනුදෙනු සිදු කිරීමෙන් රටට ඩොලර් ලැබීම වැඩි වී අර්බුදයෙන් මිදීමට හැකි වනු ඇති බව මුදල් අමාත්‍යංශයේ උපදේශකයින් දුන් නිර්දේශය මහ බැංකු අධිපතිවරයා නැවත වරක් ප්‍රතික්ෂේප කොට ඇත.

එමෙන් ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ද ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

මුල්‍ය අරමුදලේ සහය ඉල්ලුවොත් පළමු කොන්දේසිය ලෙස රුපියලේ අගය වෙළෙඳපොළේ තීරණය වන්නට ඉඩ දීම ඉදිරිපත් වන නිසා මෙම විරෝධය දැඩි වී ඇති බව කියති.

අපට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩි වී රුපියල මෙම මට්ටමින් ස්ථාවර වනු ඇති බව මහ බැංකු අධිපතිවරයා වසරකට අධික කාලයක් කියමින් සිටිය ද එය ද සිදු වී නැත.

මේ නිසා ඉන්දියානු ණය ලබාගැනීම ද ගැටලුකාරී වී ඇති බව දැනගන්නට තිබේ.

ඉන්දියානු ණය ගිවිසුමට අද හෙට ම අත්සන් තැබීමට නියමිතව තිබුන ද මේ වන විට එය ද කල් දමා ඇති බව වාර්තා වෙයි. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරය ද කල් දැමු බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *