උපයෝගිතා කොමිසමේ විකල්ප යෝජනා ඉවත දමා ලංවිම ඉංජිනේරුවෝ විදුලිය කපන්නම යති
![]()
විදුලි කැපීමකින් තොරව ඉදිරි මාස තුනේ දී අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කොට ඇති විකල්ප යෝජනා ප්‍රයෝගික නැති බව කියන ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය දිනපතා විදුලි කැපීමක් අත්‍යවශ්‍ය බව කියයි.
විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගැනීම සඳහා පෞද්ගලික අංශය සතු ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කරවීම ඇතුළු යෝජනා ගණනාවක් ඉදිරිපත් කොට ඇති උපයෝගිත කොමිසම විදුලිය කැපීමකට අවසර දී නැත.
කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියන්නේ ඉදිරි මාස තුනේ දී අඛණ්ඩව විදුලි සැපයුමක් පවත්වා ගැනීම සඳහා හැකියාව ඇති බව සහ ඒ සඳහා තම යෝජනා ක්‍රියාවට නැගිය යුතු බව යි.
පසුගිය ජනවාරි 8 වැනිදා සිට දිනපතා පැය දෙක බැගින් විදුලිය කැපීමට විදුලි ඉංජිනේරු සංගමය ඒ දිනවල සිට ඉල්ලීම් කොට තිබුන ද මහජන උපයෝගිත කොමිසම මේ දක්වා එයට අවසර දුන්නේ නැත.
හදිසි විදුලි මිල දී ගැනීම් සඳහා කළ ඉල්ලීම් ද උපයෝගිතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබී ය.
කඩා කප්පල්කාරී ලෙස කළ විදුලි කැපීම් කිහිපයක් හැර නිතිපතා විදුලි කැපීමක් වලකා ගැනීමට මේ දක්වා තමන්ට හැකි වූ බව උපයෝගිතා කොමිසම කියයි.
උපයෝගිතා කොමිසමේ මෙම දැඩි ස්ථාවරය පිළිබඳව ලංවිම ඉංජිනේරු සංගමය දැඩි කෝපයෙන් පසුවන බව දැනගන්නට ඇත.
ඉංජිනේරු සංගමයේ මතය වී තිබෙන්නේ විදුලිය ගැන සියලු තීරණ ගැනීමට විදුලිබල මණ්ඩලයට ඉඩ ලබා දෙමින් උපයෝගිතා කොමිසම වෙනත් වැඩ බලා ගත යුතු බවයි.
