ගොටාභය ජනාධිපතිට තව වසර තුනක් නැහැ ; හරියට තියෙන්නේ දෙකයි

ඉදිරි වසර තුනේ දී තම පොරොන්දු වැඩ කටයුතු ඉවර කරන බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නැවත නැවත ප්‍රකාශ කළ ද, ඒ මහතාගේ නිල කාලය උපරිම වශයෙන්  තවත් වසර දෙකයි මාස අටකට සීමා වන බවත්, ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවීම සහ එයට සුදානම් වීමේ කාලය අතහැර ගණන් බැලු විට ප්‍රයෝජනවත් වැඩක් කළ හැකි කාලය වසර දෙකකට සීමාව් වන බවත්, දේශපාලන නිරීක්ෂකයෝ කියති.

2019 නොවැම්බර් 16 දා පත් වූ ජනාධිපතිවරයාගේ නිල කාලය 2024 නොවැම්බර් 16 දා අවසන් වන නමුත් ජනාධිපතිවරණ පනත අනුව එම දිනයෙන් මාසයකට පෙර සහ මාස දෙකක් ඇතුළත දිනයක ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ ය. ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර 16 සහ ඔක්තෝබර් 16 අතර පැවැත්විය යුතු වෙයි. එනම් අද සිට වසර දෙකයි මාස හතක් සහ අටක් අතර කාලයේ දී ය.

මෙම ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම මැතිවරණ දිනයට සති හයක් අටක් අතර විය යුතු ය. එනම් 2024 ජුලි අගෝස්තු වන විට නාම යෝජනා භාරගත යුතු ය.

නාම යෝජනා භාර ගැනීමට අඩු තරමින් දින දහසයකට පෙර සහ සති හතරක් තුළ මැතිවරණය ප්‍රකාශයට පත් කොට නාම යෝජනා කැඳවීම සිදුකළ යුතුව ඇත. එනම් 2024 ජුනි ජුලි වන විට එය සිදු කළ යුතු ය. ඒ තව වසර දෙකයි මාස කිහිපයක දී ය.

ඊට පෙර දේශපාලන පක්ෂවල වැඩි අවධානය යොමු වන්නේ මැතිවරණයට සුදානම් වීමට සහ විවිධ පෙරමුණු ගොඩ නැගීමට ය. අපේක්ෂකයින් තෝරා ගැනීමට ය. එමෙන් ම එය පිල් මාරු කරන යුගයක් ද වෙයි.

එබැවින් මෙම මැතිවරණ කාලය වැදගත් කාර්යයක් කළ හැකි වකවානුවක් නොවන බව දේශපාලන නිරීක්ෂකයින්ගේ මතයයි. රටට කොතරම් අවශ්‍ය වුවත්, ජනප්‍රිය නොවන තීරණ ගැනීමට දේශපාලඥයින් සුදානම් නොවන කාලයක් ලෙස ද මෙම කාලය සැලකෙයි.

ඒ අනුව ගණන් බැලු විට ප්‍රයෝජනවත් වැඩක් කිරීමට ජනාධිපතිවරයාට ඇත්තේ වසර දෙකක තරම් කාලයකි. තවත් වසර තුනක කාලයක් ජනාධිපතිතුමාට කෙසේවත් ඉතිරිව නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *