හොරට ගැසූ රසායනික පොහොරෙන් කෘෂිකර්ම ඇමැතිත් ගොඩ !

මෙවර මහ කන්නයේ දී ඇතැම් ගොවීන් හොර පාරෙන් වැඩි මිලට ලබාගෙන යෙදු රසායනික පොහොර මගින් එම ගොවීන් ලැබූ අස්වැන්න නොවන්නට සමස්ත වී අස්වැන්න ඉතා පහළ මට්ටමකට වැටී කෘෂිකර්ම ඇමති ද මීට වඩා ලොකු අමාරුවක වැටෙන්නට තිබු බවත්, ඇමතිවරයා ද යන්තම් ගොඩ ගියේ හොරට යෙදු රසායනික පොහොරෙන් බවත්, රජරට සහ නැගෙනහිර පළාත්වල ගොවීහු ප්‍රකාශ කරති.
ගොවීන් ළඟ ඉතිරිව තිබු සහ වෙළෙඳුන් ළඟ තිබු රසායනික පොහොරවලට අමතරව මාධ්‍යම සහ දකුණු පලාත්වල තේ වගාවට ලැබුණු පොහොර ද නැගෙනහිර සහ රජරට ප්‍රදේශවලට රහසේ ගෙනගොස් තිබේ. එම දිනවල පොහොර රැගත් ලොරි දහයක් පහලවක් එක දිනක දී රජරටට ගිය බව වාර්තා වී ඇත.
මේ වනවිට අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය වව්නියාව දිස්ත්‍රික්කවල අස්වනු නෙලීම පටන්ගෙන ඇති අතර රසායනික පොහොර නොයෙදූ ගොවි බිම්වල අස්වැන්න ඉතා අඩු මට්ටමක තිබිය දී රසායනික පොහොර යෙදු ගොවිබිම්වල අස්වනු හොඳ තත්ත්වයේ පවතියි.
සමහර පැතිවල අස්වැන්න වැඩි වී ඇති බවත්, එයට හේතුව ගොවීන් හොරෙන් රසායනික පොහොර යෙදීම බවත්, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද පසුගිය දා ප්‍රකාශ කළේය.
සමස්ත වගා හානිය සියයට තිහක මට්ටමේ පවතින්නේ එලෙස රසායනික පොහොර යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව ගොවීහු කියති.
