ගෙනා සහල් තොග වරායේ ; සහල් කිලෝව 200 ට නගී !

වෙළෙඳපොළේ මේ වනවිට ඇති සහල් හිගය මග හැරීම සඳහා රජයේ අනුමැතිය ඇතිව ගෙන්වා ඇති සහල් කන්ටේනර් 800 ක් පමණ මුදා ගැනීමට ඩොලර් නිකුත් කිරීමට මහ බැංකුව අසමත් වීම නිසා වෙළෙඳපොළේ සහල් මිල කිලෝව රුපියල් 200 ඉකමව යන තත්ත්වයක් උද්ගතව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

මේ වනවිට සම්බා සහල් කිලෝව රුපියල් 230 සිට ඉහළ මිලකට ද , නාඩු කිලෝව රුපියල් 180 සිට ඉහළට ද අනෙකුත් සහල් කිලෝව රුපියල් 170 සිට ඉහළට ද අලෙවි වෙමින් පවතියි.

රසායනික පොහොර තහනම නිසා පසුගිය යල කන්නයේ අස්වැන්න අඩු වීම සහ මාස් කන්නයේ වඩාත් බලපතළ වගා හානි ඇතිවෙමින් තිබීම මෙලෙස සහල් මිල ඉහළ යාමට හේතු වී තිබේ.

වරායේ ඇති සහල් සහ අත්යවශ්ය භාණ්ඩ නිදහස් කර ගැනීමට මුදල් නිකුත් කරන බවට මහ බැංකුව නොයෙක් වර ප්‍රකාශ කළ ද මේ දක්වා නිදහස් කොට ඇත්තේ ඉතා සුළු මුදල් ප්‍රමාණයක් බව කියති.

පවතින දැඩි සහල් සහ වී හිගය නිසා මේ වනවිට ඇතැම් ප්‍රදේශවල වී මිල කිලෝව රුපියල් සියය ඉක්මවා ඉහළ ගොස් ඇති බව ද වාර්තා වෙයි.

වරායේ සිර වී ඇති භාණ්ඩ නිදහස් කිරීමට මුදල් නිකුත් නොකළ මහා බැංකුව භාණ්ඩාගාර බිල්පත් ගෙවීමට එම මුදල් යෙදවීම ගැන ආර්ථික විශේෂඥයෝ විරෝධය පළ කළහ.

කෙසේ වෙතත්, මහා බැංකුව එම මුදල් ගෙවීම ඊයේ සිදු කළේ ය.

මේ අතර මෙරටට ගෙන් වූ ඉන්ධන නැව් දෙකක් ද ගොඩ බා ගත නොහැකිව අද උදේ දක්වා වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබුණේ ගෙවීමට ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *