ලයිට් කපන්නම හැදු විදුලි වෘත්තීය සමිති පසුබැස්මක ; ඉන්ධන ප්රශ්නය විසඳෙන ලකුණු

විදුලි නිෂ්පාදනය සඳහා ඉන්ධන සපයාගැනීමේ ප්‍රශ්නයට කිසිදු විසඳුමක් නැති බවත්, විදුලි කැපීම අනිවාර්ය වන බවත් කියමින් පසුගිය දිනවල මහජනයා බියට පත් කළ ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට පසු බැස්මක් හිමිකර දෙමින් විදුලිය සඳහා ඉන්ධන සපයාගැනීමේ ප්‍රශනය විසඳෙන ලකුණු පහළ වී ඇති බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග කියයි.
ගෙවීම් සඳහා ඩොලර් නිකුත් නොකිරීම නිසා වරායේ නැංගුරම් ලා තිබු නැව් දෙකකින් ඉන්ධන ගොඩබෑම අද ආරම්භ කළ අතර එම තත්ත්වය තුළ විදුලි බල මණ්ඩලයට දැනට අවශ්‍ය ඉන්ධන සැපයීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව එකඟ වී තිබේ. ඒ අනුව ඉදිරි දින අටක් තුළ විදුලි කැපීමක් අවශ්‍ය නොවන බව කියති.
එමෙන් ම ඉදිරි කාලයේ ඉන්ධන මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක් ලබා දීමට ඉන්දියාව එකඟ වී තිබේ. ඒ අනුව ඉදිරිකාලයේ ඉන්ධන මිල දී ගැනීමේ ප්‍රශ්නයට ද තාවකාලික විසඳුමක් ලැබී තිබේ.
විදුලි බල මණ්ඩලයේ ඇතැම් වෘත්තීය සමිති පසුගිය කාලයේ ප්‍රකාශ කළේ විදුලි කැපීමක් අනිවාර්ය බවයි. විදුලිය කැපීමේ කල සටහනක් ද සකසා හොර රහසේ මාධ්‍යයට ලබාදීමට ද ඇතැම් පිරිස් කටයුතු කළ බවට චෝදනා නැගී ඇත.
එමෙන් ම විදුලි වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ ප්‍රකාශකයකු ඊයේ කීවේ පැය කිහිපයක් නොව විදුලිය සැපයීම සම්පුර්ණයෙන් නැවත්වීමට සිදුවිය හැකි බවයි. ඉන්ධන මිල දී ගැනීමට ඉන්දියාව මුදල් නොදෙනු ඇති බවත්, ඉන්දියාවට අවශ්‍ය අර්බුදය උත්සන්න කොට විදුලි බලාගාර අත්පත් කර ගැනීම බවත්, එම ප්‍රකාශකය කීය.
ඉන්ධන මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක ණය ලබාදෙන බව ඉන්දියාව ප්‍රකාශ කළේ ඉහත කී වෘත්තීය සමිති නායකයාගේ ප්‍රකාශයෙන් පැය කිහිපයක් ගත වන්නට පෙර දී ය.
මෙම තත්ත්වය තුළ විදුලි බලයට සම්බන්ධ ඉහළ නිලධාරීන් සැක කරන්නේ ඇතැම් වෘත්තීය සමිති කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරත වීමට ඉඩ ඇති බවට ය.
මීට පෙර අවස්ථාවක රට පුරා සිදු වූ විදුලි විසන්දි වීම ගැන කළ පරීක්ෂණ වාර්තා ද මෙතෙක් හෙළිදරව් කොට නැත.
