අයර්ලන්තෙ ගියයි කියන අනුර ජනාධිපති කරමු. බිව්වයි කියන විජිත අගමැති කරමු. – අජිත් පැරකුම් ජයසිංහ
![]() |
| පිංතූර බලා බීලා ද නැද්ද කියන සාත්තරය අපි දන්නේ නැත. |
මේ දවස්වල විජිත නිසා ජවිපෙ නැවතත් මාතෘකාවක් වෙලා. ඒකට හේතුව පොඩි ක්‍රෑෂ් එකක්. ඒ වුණාට, ඒක හරියට උඩින් ගිය රහතන් වහන්සේ කෙනෙක් ගෑනු නාන තොටක් ගාවදි ක්‍රෑෂ් ලෑන්ඩ් වුණා වගේ සිද්ධියක් වෙලා.
ඒ නිසා මම ටික දවසක ඉඳලා ලියන්න අදහස් කරමින් සිටින අදහසක් ලියන්නයි හදන්නේ.
අපි වගේ ම ජවිපෙත් මහින්දව පන්නලා මේ ආණ්ඩුව ගෙන එන්නට උර දුන් අයයි. ජවිපෙ සුපුරුදු විදියට ම 2005දී කළා වගේම ආණ්ඩුව බලයට ගෙනත් ඉන් පසු එය පෙරළන හැටි ගැන කතා කරන්නට පටන් ගත්තා.
අපි තවමත් මේ ආණ්ඩුවට විවේචනාත්මක සහාය දෙනවා. ඔවුන් අත ගසා තිබෙන්නේ ඉතා දුෂ්කර අභියෝගයකට බව අපි දන්නවා. ඒ නිසා අපි ඉවසනවා.
ලංකාවේ තිබෙන ගැටලුව අපි දකින්නේ මෙහෙමයි. අපි මේ ගැන මීට කලින් ඉඳලාම සාකච්ඡා කරලා තිබෙනවා.
- ලංකාවේ ශක්තිමත් ධනපති පංතියක් හෝ සංවිධිත කම්කරු පංතියක් නැහැ.
- ලංකාවේ පවතින්නේ මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර ක්‍රමයක්
- ලංකාවේ වාමාංශික පක්ෂ, කණ්ඩායම්, පුද්ගලයන්, බුද්ධිමතුන් විසින් ගොඩනගලා තිබෙන්නේ මධ්‍යම පංතික විඥානයක් මිස කම්කරු පංතික විඥානයක් නෙමෙයි. ඒ නිසා පවත්නා වමෙන් විප්ලවීය කාර්යභාරයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන් සිංහල, දෙමළ ජාතිවාදයේ ගොදුරු බවට පත් වෙන එකත් මේ ඔස්සේ ම විග්රහ කර ගන්නට පුළුවන්.
- දීර්ඝ කාලයක් තිස්සේ රටේ මුල් බැස තිබුණු ඝාතන සංස්කෘතිය නිසා අපට මේ වන විට හොඳ නායකයන් නැහැ. එවැනි නායකත්වයන් පිළිබඳ අංකුරවත් දකින්නට ලැබෙන්නේ නැහැ.
- ලංකාව සිර වී තිබෙන සංවර්ධන උගුලෙන් ගොඩ ඒම පිළිබඳ දැක්මක් තබා ඒ ගැන හරි හමන් සංවාදයක්වත් සමාජයේ නැහැ. ලංකාවේ මිනිසුන්ට සංවාද සංස්කෘතියක්වත් නැහැ. මූලිකව ම අනෙකාගේ අදහස ග්‍රහණය කර ගැනීමට වඩා එයට පිළිතුරු දීම වැදගත් කොට සලකන සංස්කෘතියකයි අප ඉන්නේ.
- ලංකාව ඉතා භයංකර විධියට මිථ්‍යාව තුළ ගිලෙමින් පවතින විද්‍යාව පිටු දකින සමාජයක් බවට පත් වෙමින් තිබෙනවා.
මේ තත්වය ඇතුළේ අපි දේශපාලන ක්‍රියාමාර්ග විදියට තෝරාගෙන තිබෙන්නේ පහත දැක්වෙන දේවල්:
- අපි කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙන්නේ නැහැ. සෑම පක්ෂයක් හා ව්‍යාපාරයක් දෙස ම විවෘත ඇසකින් බලන ගමන් ඔවුන් සමග සංවාදගත වෙනවා. ඇදහිලි පිටු දකිනවා. ගරුසරු නැතිව විවේචනය කරනවා. අවශ්‍ය නම් එක්ව වැඩ කරනවා.
- හැම විට ම දේශපාලන සංවාද දිරි ගන්වනවා. විශේෂයෙන් ම පීඩිතයන්ට කතා කරන්නට ඇති බාධකවලට එරෙහිව අපි සටන් කරනවා. දේශපාලන සංවාදය සියලු පාර්ශ්වකරුවන්ගේ ප්‍රජාතාන්ත්‍රික සහභාගිත්වයෙන් යුතුව සිදු විය යුතු එකක් බවයි අපේ විශ්වාසය.
- අවිද්‍යාවට, මිථ්‍යාවට, ආගම්වලට (මාක්ස්වාදය ද ඇතුළුව), ආගමික කල්ලිවලට (දේශපාලනික ආගම් ද ඇතුළුව) විවෘතව නැගී සිටිනවා.
- ලංකාවේ අර්බුදයේ වගඋත්තරකරුවන් අතර ජනතාවට තිබෙන වගකීම අපි අවධාරණය කරනවා. අපි ජනතාව සුරතල් කරන්නෙ නැහැ. සබුද්ධික වීම, විනයගත වීම ජනතා වගකීමක් ලෙස අවධාරණය කරනවා.
- සමාජවාදය කියලා අප නම් කරන්නේ මීට වඩා යහපත් සමාජයක්. ඒ වෙනුවෙන් අපි සංවාදයක් ගොඩනගනවා. ඒ වගේ ම සමාජවාදී ජීවිතයක් ප්‍රවර්ධනය කරනවා. අප ලියන බොහෝ දේ ඇතුළේ තිබෙන්නේ ඒක.
සම්මත දේශපාලනයට හුරු පුරුදු වෙලා තිබෙන අයට අපව තේරුම් ගන්න අමාරු ඒ නිසායි.
ඉතින් අපි ආපහු ප්‍රස්තුතයට යමු.
අපි මේ ආණ්ඩුවට උපකාර කරනකොට අපේ මූලික අවධානයක් යොමු වුණේ රනිල්ට බව බොරුවක් නෙමෙයි. හේතුව මේ ආණ්ඩුවේ දැක්මක්, බුද්ධිමය පෞරුෂයක් තිබෙනවා නම් තිබෙන්නේ රනිල් ළඟයි. එහෙත්, ඔහුගේ දක්ෂකම් වගේ ම උපන් ගෙයි අඩුපාඩුකම් මේ ආණ්ඩුව තුළත් ඔහු ඒ අන්දමින් ම පෙන්වනවා.
විශේෂයෙන් ම ඔහු සමීප කරගෙන සිටින පිරිස ගැන අපට කියන්නට තිබෙන්නේ එක වාක්‍යයයි. ඔහුට ඉන්නේ නියම පාපමිත්‍රයන් පිරිසක්. කරුමෙට ඔහු එය දන්නෙ නැහැ. එය ඔහුගේ ජීවිතාවබෝධයේ හා සමාජානුයෝගයේ ගැටලුවක් වෙන්න ඇති. එය ඔහුගේ නායකත්ව පෞරුෂයට දැඩිව බලපානවා.
අනෙක් පැත්තෙන්, ලංකාව වගේ පසුගාමී දේශපාලන සමාජයකදී පුළුල්ව විහිදෙන සංවිධායකයකු වන්නට නායකයාට හැකි විය යුතුයි. මේ ලක්ෂණය මහින්ද ළඟ තිබුණා. ඔහුට නො තිබුණේ බුද්ධියයි. ඒ වගේ ම ඔහුට වින කළ අනෙක් දෙය වුණේ පවුලයි. ඔහුගේ පවුලේ ඉන්නේ ඔහුට වඩා හැම අතින් ම පසුගාමී ග්‍රාම්‍ය මිනිසුන් ටිකක්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැන නම් කතා කරන්නට ලොකු දෙයක් තවම පෙන්නුම් කරලා නැහැ. ඔහු සදාකාලික ආධුනිකයෙක් වගේ. රනිල්ගෙන් තොරව ස්වාධීන නායකත්වයක් ඔහුට නැති බව පැහැදිලියි. ඔහුගේ පක්ෂය මේ වන විට තිබෙන තත්වය තුළ තව දශක ගණනාවක් යන තෙක් ඔවුන්ට දේශපාලන බලයක් දිය යුතු යයි පෙනෙන්නේ නැහැ.
ඉතින් මේ කතා ටික ජවිපෙට අදාළ වෙන්නෙ කොහොම ද?
ජවිපෙ 2020දී ආණ්ඩුවක් පිහිටුවීම ගැන කතා කරනවා. මම නම් කියන්නේ 2020දී අපි ජවිපෙට ආණ්ඩුවක් පිහිටුවන්නට උදව් කරන එකේ වරදක් නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. මොන ගැටලු තිබුණත්, රනිල් 2020 වන විට යම් දුරකට ආර්ථිකය යම් දුරකට ගොඩ ගනියි කියලා හිතන්නට පුළුවන්. ඔහු කලින් බලයේ සිටි අවස්ථාවලත් එය කළා. රනිල් ගන්නා ආර්ථික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කියන්නට තිබෙන්නේ සරල (මා කලින් පාවිච්චි කළේ සරළ කියා ය. මෑතදී එක් මාක්ස්වාදියකු විශිෂ්ට ලේඛනයකින් අයෙකු මගේ වරද පෙන්වා දුන්නේ ය. මාක්ස්වාදීන්ගේ වරද වන්නේ දේශපාලනය ගැන එවැනි විශ්ලේෂණයක් කරන්නට අසමත් වීමයි) අදහසකි.
ලංකාවේ ධනේශ්වර ආණ්ඩුවකට ඒ හැර වෙනත් කරන්නට දෙයක් නැත.
ලංකාවට බලපාන අතිශය මූලික ගැටලුවක් වන්නේ විනයගත ජනතාවක් නැතිකමයි. විනයක් නැති ජනතාවක් එක්ක රටක් හදන්න බැරි බව රනිල් තේරුම් අරගෙන ඇති බවක් අපට පේන්නෙ නැහැ. එහෙම තේරුම් ගත්තා නම්, බදු වැඩි කරනවා වගේ ම ඒ වෙනුවෙනුත් බරක් තබන්නට ඕනැ. අධ්‍යාපනය, මාධ්‍ය ආදිය ඒ වෙනුවෙන් යොදා ගන්නා බවක් අපට පේන්නෙ නැහැ. ඒකට මූලික හේතුව දැක්මක්, ප්‍රතිපත්තියක් නැතිකමයි.
ජවිපෙ විසින් අවධානය යොමු කර තිබෙන මූලික කාරණයක් වන්නේ සිය පාක්ෂිකබලවේගයේ විනයයි.
මැයි රැළියෙන් පසු පිට්ටනිය පිරිසිදු කිරීම, අනුරගේ, විජිතගේ සුළු සුළු හුටපට සම්බන්ධයෙන් මැරෙන්නට හැදීම වැනි දේවලිනුත් එය හොඳින් නිරූපණය වෙනවා.
එහි වැදගත් දේශපාලන අදහසක් තිබෙනවා. ඒත්, ක්‍රියාකාරිත්වයේදී එය ඉතා ප්‍රාථමිකයි. උදාහරණයක් විදියට මැයි රැළියෙදි පිට්ටනියෙ කුණු අහුලපු ජවිපෙ දවස් කීපයකට පස්සෙ දිවයිනට ප්‍රචාරය දෙන පෝස්ටරයකින් මුළු ලංකාවෙම බිත්ති කැත කළා.
ජවිපෙට පුළුවන් ජනතාව විනයගත කිරීම දැන් ඉඳළා ම පටන් ගන්න. හැබැයි දැනට ඔවුන් කරගෙන යන විදියෙන් නෙමෙයි.
මූලිකව ම ජවිපෙ තමන්ගේ පාක්ෂික බලවේගය ආගමික ස්වරූපයෙන් මුදවා ගන්නට උත්සාහ කළ යුතුයි. තමන්ගේ නායකයන් හා පක්ෂය ගැන අන්ධ විශ්වාසයක් ඇති මිනිසුන් වෙනුවට වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් අචල ඇපකැපවීමක් ඇති මිනිසුන්වයි ගොඩනගන්නට ඕනැ.
ඒ වගේ ම, මේ සංවාද ලෝකයට විවෘත වෙන්නටත් ඔවුන් පුරුදු පුහුණු කළ යුතුයි. ජවිපෙ බලවේගයට තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ඔවුන්ට විවේචන දරා ගන්නට හැකියාවක් නැතිකමයි.
ජවිපෙ නායකයන් කවුරුවත් සුවිශේෂ දක්ෂයන් හෝ නායක පෞරුෂයන් ඇති අය නො වන බව අඩු ගණනේ නායකයන් හෝ තේරුම් ගත යුතුයි. ඒ නිසා සාමූහිකත්වය මිස පුද්ගලයන් ප්‍රවර්ධනය කිරීම තේරුමක් නැහැ.
සාමූහිකත්වය ගොඩනැගීම කියන්නේ පුළුල් වීමයි. ඒ වෙනුවෙන් ජවිපෙ ඔය ඊනියා ආගමික පිට කට්ට බිඳ දාන්න ඕනැ. තමන්ගෙ පාක්ෂිකයන් අාගමික බැතිමතුන් පිරිසක් බවට නෙමෙයි පත් කළ යුත්තෙ. සමාජ නායකයන් පිරිසක් බවටයි.
මේකත් මතක තියා ගන්න. බිම් මට්ටමේ ජවිපෙ සාමාජිකයන් කියන්නෙ සමාජයේ ගෞරවය දිනා ගත් පිරිසක් නෙමෙයි. ඔවුන් ඇතැම් කාරණාවලදි සාමාන්‍ය ජනතාවට වඩා බොහෝ පසුගාමියි.
ගංවතුර අවස්ථාවෙදි ජවිපෙ අනාථ වූවන්ට සහන සලසන්නට මහ පොළවට බැස්ස ආකාරය විශිෂ්ටයි. එය දේශපාලන ප්‍රොපගැන්ඩාවක් ලෙස ලඝු කරන්නට බැරි වුණත්, එහෙම වුණත්, එය නරක දෙයක් නෙමෙයි.
මේක මැයි දිනයට, ආපදාවන්ට පමණක් සීමා කරන්නට එපා. ලෝකයට, රටට, මිනිසුන්ට, පරිසරයට ආදරය කරන අලුත් සංස්කෘතියක් ඇති කරන්නට මේ වැඩ පිළිවෙල යොදා ගන්නට පුළුවන්. අද වන විට, ගම්වල, නගරවල පොදු වැඩ, සමාජ සේවා සංවිධාන කටයුතු අන්තයට පිරිහිලා. ඒවා දන්සැල් දීම, පන්සල්වල පිංකම් වැනි හරසුන් සංදර්ශනාත්මක වැඩවලට සීමා වෙලා. ගම, නගරය, පාර, වෙරළ, පරිසරය ලස්සනට තියා ගන්න, පැළ සිටුවන්න, නැති බැරි අයට නෙමෙයි දිරිය මිනිසුන්ට උදව් කරන්නට වැනි දේවලට යොමු වෙන සමාජ සේවා සංවිධාන ගොඩනගන්නට ජවිපෙට පොළවට බහින්නට පුළුවන්.
අද වන විට බොහෝ දෙනෙක් සියලු දේ කරන්නේ මීඩියා කැමරාවලටයි. ජවිපෙටත් දැනට නම් අවශ්‍ය තමන් වැඩ කළා ය කියලා මාධ්‍යවලින් පෙන්වා ගන්නට විතරයි. ඒත්, දැන් මිනිස්සු ඕවාට රැවටෙන්නේ නැහැ. ඇත්ත වෙනස්කම් ඇති කරන්න නම් බිම් මට්ටමෙන් ම මැදිහත් වෙන එකයි කළ යුත්තේ.
රනිල් අවස්ථාවක් ඉල්ලමින් හිටියා. අපි දුන්නා. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න එයා සමත් වෙයි ද කියන එක එයාගේ ප්‍රශ්නයක්. ජවිපෙත් කලක සිටම අවස්ථාවක් ඉල්ලමින් ඉන්නවා. ඒක දෙන එකේ වරදක් නැහැ. ඒත්, ඒ අවස්ථාව හරවත් අන්දමින් භාවිතා කරන්නට නම් මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනැ.
ඔබට තව ගොඩක් දුරයි සහෝදරයිනි. ඒ වුණාට ගමන පටන් ගන්න, බල බලා නො ඉඳ. අපෙන් සුබපැතුම්!


W3Lanka