යළිත් අධිකාරීවාදී පාළනයක් රටේ ඇති කර ගැනීමට ජනතාව සූදානම් නෑ – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු
ප්‍ර. ජනාධිපතිවරණයට නාම යෝජනා බාර ගැනීමට තව මාස පහ හයක වැනි කෙටි කාලයක් තමයි තියෙන්නේ. පෙර සූදානමක් නැතුව ඉදිරිපත් වන මැතිවරණයක දී වඩාත් වාසිදායක වන්නේ කොයි පැත්තටද? පාලක පක්ෂයට ද? විපක්ෂයට ද? මීට පෙර නම් අවම වශයෙන් අවුරුද්දක විතර කැම්පේන් දියත් වෙනවා මැතිවරණයකට පෙරාතුව. සිරිමාවෝ රජයට විරුද්ධව ජේ.ආර්. ජයවර්ධන ප්රමුඛ එ.ජා.ප.ය වසර දෙක තුනක ඉතාම සූක්ෂම මැතිවරණ ව්‍යාපාරයක් දියත් කෙර විශිෂ්ඨ ජයක් ලබාගත්තා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව ජනතා අරගලයක් දියත් වුණේ මාස ගණනාවක ඉඳලා. දැනට උදාවී තිබෙන තත්ත්වය අනුව මේ කෙටි කාලයෙන් වැඩි වාසියක් අත්වෙන්නේ කාටද?
පි. දැනට තියෙන ආණ්ඩුව ජාතික ආරක්ෂාව අතිනුත්, ආර්ථික කළමණාකරනය අතින් අසමත් ආණ්ඩුවක් බවට ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම මීට ඉස්සරවෙලා තිබුණු ආණ්ඩුව ඉවත් කළේ ඒක ප්රජාතන්ත්රවාදී නැත. අධිකාරීවාදි කියලා. නමුත් ඒ අධිකාරීවාදයට පොඩි කැමැත්තක් දැන් දැන් ඇතිවෙලා තියෙනවා. ඒ සමඟම ඒ තුළන් යහපත් අධිකාරීවාදයක් ලංකාවේ ඇති කරන්න පුළුවන් ද කියන සැකයත් දැන් ඇතිවෙලා තියෙනවා. ඒ කියන්නේ සිංගප්පූරුවේ ලීක්වාන් යූ වගේ නායකයෙක් බිහි කරන්න පුළුවන්ද කියලා හිතන අයත් ඉන්නවා.
ප්‍ර. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව පහ කෙරුණේ අධිකාරීවාදයේ ඉහළට යාම සමඟම ප්රජාතන්ත්රවාදය අතුරුදන් වූ නිසා නේද? මාධ්‍යවේදීන්ට නිදහසේ රැකියාව කරන්න බැරිවුණා. නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න බැරි වුණ නිසා නේද? ඒ නිසා එවන් තත්ත්වයකට මිනිසුන් නැවතත් කැමති වෙයිද?
පි. නැහැ. කොහෙත්ම නෑ. ඒ වගේ තත්ත්වයක් උදාකරගන්න යළිත් ජනතාව කැමති වෙන්නෙ නෑ.
ප්‍ර, එසේ නම් පසුගිය මැතිවරණයේ දී ජනතාව ගත් තීන්දු හරි?
පි. මේ ආණ්ඩුව පත්වුණාම ප්රජාතන්ත්රවාදී අවකාශයක් ඇති වුණා. නමුත් ඇති වෙයි කියලා බලාපොරොත්තු වුණ ජාතික සමගිය ඇති වුණේ නැහැ. ජනතාවගේ ජන ජීවිතයට ආරක්ෂාව සපයන්නවත් මේ ආණ්ඩුව අසමත් වුණා. ඒ වගේම රට සංවර්ධනය කරා ගෙනයාමට හැකි ප්රජාතන්ත්රවාදයක් බිහිකරගන්න බැරි වුණා. ඒ නිසා මිනිස්සුන්ගෙ හිත්වල තියෙනවා දැන් යහපත් ඒකාධිපතියෙක් අවොත් හොඳයි කියලා. නමුත් ප්රජාතන්ත්රවාදය ගැන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැතිවෙලත් නෑ.
ප්‍ර. උගත් බුද්ධිමත් සමාජය ප්රජාතන්ත්රවාදය ජාතික සමගිය ගැන කතා කෙරුවට, ගම්වල සාමාන්‍ය ජනතාව අතර පැරණි ක්‍රමය හොඳයි කියන මතයක් ගොඩනැගිලා තියෙනවා නේද?
පි. මම නම් එහෙම ම තීරණයකට එන්න ඉක්මන් වෙන්නේ නෑ. පහුගිය ආණ්ඩුව කරපු ඇතැම් ක්‍රියා, විශේෂයෙන්ම මාධ්‍ය මර්ධනය, සුදු වෑන් වලින් පැහැර ගැනීම (සුදු වෑන් සංස්කෘතිය) වගේ දේවල්වලට තිබුණ විරෝධය තවම තියෙනවා. ජාතීන් අතර සමගිය තමයි නැති වෙලා තියෙන්නේ. පාස්කු ඉරිදා සිද්ධියෙන් පසුව ජාතීන් අතර සමගිය තවදුරටත් පරිහානියට පත්වුණා. ඉස්සර එල්.ටී.ටී.ඊ. එක මුල් කරගෙන දෙමළ විරෝධී ව්‍යාපාරයක් ඇති වුණා වගේම, දැන් තවුහිද් ජමාත් සංවිධානයේ ත්‍රස්තවාදය මුල්කරගෙන මුස්ලිම් විරෝධයකුත් ඇතිවෙන තත්ත්වයක් තමයි දැන් නිර්මාණය වෙලා තියෙන්නේ.
ප්‍ර. ගියවර ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට එක්සත් ජාතික පාක්ෂිකයන් ගේ ඡන්ද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්ද වගේම ද්‍රවිඩ මුස්ලිම් ඡන්දදායකයාත් සෑහෙන දුරකට බලපෑමක් ඇති කළා. මේ සැරේ මුස්ලිම් ද්‍රවිඩ සුළුජාතික ඡන්ද දායකයාගේ තිගැස්මක් ඇති වෙලා තියෙනව නේද?
පි. ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නේ මුස්ලිම් අය තවත් ජාතිවාදී වෙලා. දෙමළ ජාතිකයන් නියෝජනය කරන පක්ෂයක් වන ටී.එන්.ඒ එක ජාතිවාදය මතම රඳා පවතින පක්ෂයක් වෙලා. දකුණේ බලපුවාම මහින්ද රාජපක්ෂලා වගේ අය උත්සාහ කරන්නේ ජාතිවාදය මතම ජයග්රහනයක් ලබාගන්න. ඔබ පැවසූ කරුණේ ඇත්තක් තියෙනවා, ද්‍රවිඩ ජාතින්ගේ සහ මුස්ලිම් ජාතීන්ගේ සහයෝගය නැතිව රජයක් ශක්තිමත් පිහිටුවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ සහයෝගයත් ලබාගත හැකි නායකත්වයක් තමයි දැන් රටට අවශ්‍යවෙලා තියෙන්නේ.
ඒ සඳහා කෙටිකාලීනව ඔවුන් සන්තෘෂ්ඨීයට පත්කරන වැඩපිළිවෙලක් අවශ්‍යයි. මුස්ලිම්, දෙමළ ජනතාව තෘප්තිමත් කරන කෙටිකාලීන වැඩ පිළිවෙලකට වැඩිය ජාතික සමගිය පිණිස දීර්ඝ කාලීන වැඩපිළිවෙලවල් අවශ්‍ය බවයි මගේ නිගමනය.
ප්‍ර. ඔබ කියූ සංහිඳියා වැඩ පිළිවෙල දැඩිව මතු වූයේ එල්.ටී.ටී.ඊ. එක යුදමය වශයෙන් පරාජය කළ දා සිටයි. නමුත් එය එසේ වූයේ නැහැ. පසුගිය රජය යුද ජයග්රහණයෙන් උදම් අනමින්, ජනතාව යුද ජයග්‍රහණයේ අභිමානයෙන් උමතු කරමින් ජනතාව දිනා ගැනීමට උත්සාහ කළා විනා ජාතික සමගිය ඇති කර ලීමේ වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. ඊළඟට 2015 ජනවාරී ජනතා ජහග්‍රහණයෙන් පසුව එය ඇති වෙයි කියලා බලාපොරොත්තු වුණා. ඒත් හැකි වුණෙ නැහැ. එසේ නොහැකි වූ කාර්යභාරයක් මැතිවරණ අභිමුව මාස පහ හයක කාලක් තුළ සාර්ථක කර ගැනීමට හැකිවෙයි ද?
පි. ඉතා හොඳ ප්‍රශ්නයක්. ජනතාවගේ තියෙන මානසික තත්ත්වය අනුව ජනතාව ඒකාධිපතිවාදයටත් විරුද්ධයි, ජාතික අසමගියටත් විරුද්ධ විය යුතුයි කියලා වැඩි දෙනෙකුගේ මතයක් තියෙනවා. අනිත් පැත්තෙන් ජාතිවාදී අදහස් වලින් සම්පූර්ණයෙන්ම මිදිලත් නෑ. විශේෂයෙන්ම ඥානසාර වැනි හාමුදුරුවරුවන්ගේ උසි ගැන්වීම් තත්ත්වයන් නිසා බොදු බල සේනා වැනි සංවිධානවලට යම් කිසි ශක්තියක් ලැබිලා තියෙනවා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාත් සිංහල ජාතිවාදයෙන් ප්‍රයෝජනයක් ගැනීමට උත්සාහයක් ගන්න බවකුයි දැන් පේන්න තියෙන්නේ. එසේ කරනවාත් සමගම ඔහුට ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව අහිමිවී යෑමේ තර්ජනයක් තියෙනවා.
ඒ නිසා ඒ හැම එකකටම විරුද්ධ වූ නව බලවේගයක නැගිහිටීමේ අවශ්‍යතාවය ඉදිරි කෙටි කාලයේ දී වුවද සිදුවීමෙන් සියල්ලටම වඩා යහපත් ප්රවනතාවයක් ඇති වීමේ ලකුණුයි පෙනෙන්න තියෙන්නේ.
ප්‍ර. එහෙම නව බලවේගයක් ඇති වීමේ අවකාශයකට මාස පහ හයක පමණ කාලයක් ප්‍රමාණවත් වෙයිද?
නිදහස ලබලා අවුරුදු 71ක් තිස්සේ පරම්පරා කිහිපයක්ම ලබලා තියෙන අත්දැකීම් මේ රටේ ජනතාවට තියෙන නිසාත්, ඒ වගේම දේශපාලනය ගැනත් පාර්ලිමේන්තුව ගැනත් ජනතාවගේ විශ්වාසය බිඳවැටී තිබෙන නිසාත්, ප්රජාතන්ත්රවාදයට කැමති, ජාතික සමගියට කැමති නව උගත් බුද්ධිමත් පුද්ගලයක් පිරිසක් බලයට පත්කර ගැනීමේ උවමනාව ජනතාවට තියෙනවා කියලයි මගේ නම් කල්පනාව.
ප්‍ර. පාලක රජයන් දිගින්දිගටම අසාර්ථක වීමේදී වෙන රටවල් වල එහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එවන් ක්ෂණික වෙනසකට මුල පිරීමට ජනතාව ප්‍රබල කම්පනයකට පත් කරවන සුවිශේෂි සංසිද්ධියක් ඇති වෙන්න අවශ්‍යයි. පාස්කු ඉරිදා සංසිද්ධියෙන්වත් එවන් ප්‍රබල කම්පනයක් ඇති වූයේ නෑ නේද?
පි. පාස්කු සිද්ධියෙන් මොකද වුණේ කියලා තවමත් පැහැදිලි නැහැ. දැන් අලුත්ම මතය ලෙස ඇවිල්ලා තියෙන්නේ, අයි.එස්.අයි.එස්. සංවිධානය මේ අපරාධය සඳහා ලංකාවේ කණ්ඩායමක් යොදා ගත්තා නෙමෙයි, ලංකාවේ කණ්ඩායමක් අයි.එස්.අයි.එස් සංවිධානයේ නායකත්වය පිළිගත්තා කියන එකයි. ඔවුන් තමුන්ගේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට, තමුන්ගේ ව්‍යාපාරයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගැනීමට අයි.එස්.අයි.එස්. සංවිධානයත් එක්ක සංවිධානය වුණයි කියන එකයි අලුත්ව අදහස.
ප්‍ර. තවත් මතයක් තියෙනවා අයි.එස්.අයි.එස්. සංවිධානය පිටුපස ඉන්නේ අරාබිකරය නෙමෙයි, කියලා?
පි. මොකද අයි.එස්.අයි.එස්. සංවිධානය, මුල ඉඳලම ඇමරිකාව විසින් ඇති කළ සංවිධානවල එකතුවක්. ඇමරිකාව ඒක ප්‍රයෝජනයට අරගෙන තමයි අෆ්ගනිස්ථානයෙන් පටන් ගත්තේ, සෝවියට් කඳවුරට විරුද්ධව. අවසානයේ දී අයි.එස්අයි.එස්. ඇමරිකාවටම තර්ජනයක් වුණා.
එහෙම තර්ජනයක් වෙලා තිබුණත් ඔවුන් මැදපෙරදිගට, ඒ වගේම දකුණු ආසියාවට ප්රවේශවීම සඳහා විශේෂයෙන්ම චීන ව්‍යප්තියට විරුද්ධව ඉහත ප්‍රදේශවල පදිංචිවීම සඳහා, යුද්ධ බලය තහවුරු කරගැනීම සඳහා මෙවන් සංවිධානවල නැගීසිටීම උපයෝගි කරගන්නා බව ඇමරිකාවත්, ඇමරිකාවට හිතවත් මේ රටේ දේශපාලකයින්ගෙත් අදහස් දිහා බැලනවිට පෙනී යනවා.
ප්‍ර. මුලදි ඇමරිකාව තලේබාන් සංවිධානයටත් උදව් කරලා, පසුව පහර දෙන්න පටන් ගත්තා නේද?
පි. ඇත්තවශයෙන්ම ඔවුන්ට එවැනි පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ.
මනෝජ් රූපසිංහ
