නව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් අගමැතිට බාරදීම හෙට

නව ව්‍යවථාවක් සඳහා මහජන අදහස් විමසීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ කමිටුවේ වාර්තාව හෙට සවස 6.30ට අරළියගහ මන්දිරයේදී අගමැතිවරයාට බාරදීමට නියමිත බව කොමිසමේ සභාපති ලාල් විජේනායක මහතා යුක්තියට වාර්තා කළේ ය. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාවට භාරදිම සඳහා එම කමිටු වාර්තාව ජූනි මස 1 වෙනිදා හෙවත් අනිද්දා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාට භාරදිමෙන් අනතුරුව එදිනම මහජනතාවට දැනගැනීම වෙනුවෙන් සවස 1.00ට විසුම්පායේ දි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත ය.
ජූනි මස 07 වෙනි දින කමිටු වාර්තාව ලබාගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දිනය වෙන්කර දී ඇති බව පැවසූ ලාල් විජේනායක මහතා ඉන් අනතුරුව ආගමික නායකයින්ට වාර්තාව ලබාදීමට සැළසුම් කර ඇති බව කියා සිටියේ ය. නව ව්‍යවස්ථාවේ ස්වරූපය කුමක් වියයුතු ද යන්න කමිටුව විසින් නිර්දේශ කෙරී ඇති ද යනුවෙන් යුක්තිය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කමිටු සභාපති විජේනායක මහතා කියා සිටියේ එවැනි නිර්දේශයක් කර නැති බව ය.
නව ව්‍යවස්ථාවේ ස්වරූපය කුමක් විය යුතු ද යන්න පිලිබඳ ජනතාවගේ ඒකමතිකත්වයක් නොතිබුණු අතර කමිටු සාමාජීකයින්ගේ අතර ද ඒ පිළිබඳ එකගතාවයක් නොවූ හෙයින් එවැනි නිර්දේශයක් නොකළ බව ද ඔහු කියා සිටියේ ය. ඇතැමෙක් පාර්ලිමේන්තු ආකෘතියට කැමැත්තක් දැක් වු අතර තම සමහරක් 19 වෙනි සංශෝධනයෙන් එහාට නොගොස් ජනාධිපති ක්‍රමය තබා ගැනීමට කැමැත්තක් දක්වා ඇති බව ද විජේනායක මහතා වැඩි දුරටත් පැවසී ය. කලින් පැවති ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතු බව පැවසූ පිරිසක් ද සිටි බවත් මේ පිළිබඳව තීරණය ගැනීම ව්‍යවස්ථා සභාවට ඉඩතබා කමිටු වාර්තාව සකස් කර තිබෙන බව ද වැඩිදුරටත් පැවසී ය.
ජනවරම ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට නොවේ ද යනුවෙන් යුක්තිය නැගූ ප්‍රශ්නයට උත්තර දුන් විජේනායක මහතා තමන්ට පැවරුනු වගකීම වන්නේ ජනතාවගේ අදහස් සහ ඒ පිළිබඳ කමිටුවේ පොදු නිර්දේශ ඉදිරිපත් කිරිම පමණක් වන බව ය. ජනවරමට අනුව කුමන ආණ්ඩු ක්‍රමයක් සකස්කරන්නේ ද යන තීන්දුව ගත යුත්තේ කමිටුව නොව දේශපාලන නායකයින් යැයි ද කමිටු සභාපතිවරයා අවසාන වශයෙන් කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *