නැ. මහ ඇමතිගේ හැසිරීම අශිෂ්ට වන අතර ම පලාත් සභාවේ බලයට ද අභියෝග කිරීමක් – ගාමිණි වියන්ගොඩ
සාම්පූර් ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් විවෘත කිරීමේ උත්සවයේ දී එම පලාතේ නාවික හමුදා නිලධාරියා සමග ඇති වූ ආරවුලේ දී නැගෙනහිර පලාත් මහ ඇමතිවරයා හැසිරුණු ආකාරය කිසිසේත්ම අනුමත අනුමත කළ නොහැකි බව පුරවැසි පෙරමුණේ සම කැදවුම්කරු වන ගාමිණී වියන්ගොඩ මහතා යුක්තියට පැවසී ය.
වියන්ගොඩ මහතා යුක්තියට දැක්වූ ආකාරයට, විදේශ තානාපතිවරයෙකු හා පාසැල් දරුවන් පමණක් නොව කැමරාවක් තමා ඉදිරියේ ඇති බව දැන දැනම නැගෙනහිර මහ ඇමතිවරයා කිසිදු හික්මීමක් නැතිව මේ ආකාරයට හැසිරීම ශිෂ්ඨ සම්පන්න සමාජයකට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. මුස්ලිම් ජාතියෙක් සිංහළ රණ විරුවෙකුට බැන වැදුණු බව ඇගවා, මේ සිද්ධිය තුළින් ජාතිවාදය අවුස්සා තම දේශපාලන අභිමථාර්තයන් මුදුන්පත් කරගැනීමට ඇතැමෙක් මහන්සි ගන්නා නමුත් රටේ බහුතරයක් දේශපාලනඥයින්ගේ හැසිරීම නැ. මහ ඇමතිවරයාගේ හැසිරීමට වෙනස් නොවන බව ද වියන්ගොඩ මහතා පෙන්වා දෙයි.
අදාළ උත්සවය පැවැත්වූයේ නැගෙනහිර පලාතේ පාසැලක බව පෙන්වා දෙන වියන්ගොඩ මහතා, මධ්‍යම ආණ්ඩුවේ යෝජිතයා ලෙස ආණ්ඩුකාරයා ළගට පලාතේ ප්‍රධාන මහජන නියෝජිතයා වන මහ ඇමතිවරයාගේ ස්ථානය මේ උත්සවයේ දී හැල්ලුවට ලක්කර තිබුණු බවක් පෙනෙන්නේ යැයි කියා සිටී. මෙය සිදුවූයේ කෙසේ ද යන්න සොයා බැලීම ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ද වගකීමක් වන බව ද වියන්ගොඩ මහතා පෙන්වා දෙයි. ඇතැම් සිවිල් කටයුතු හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කෙරෙන සංක්‍රමණිය අවස්ථාවක හමුදා නිළධාරීන් මෙයට සම්බන්ධවීම යුක්ති සහගත කළහැකි නමුත් නුවමනා ලෙස සිවිල් කටයුතුවලට රණවිරු ලේබලය යටතේ හමුදාව සම්බන්ධ කරගැනීමෙන් මෙවැනි ගැටුම් ඉදිරියටත් ඇතිවිය හැකි බව වියන්ගොඩ මහතාගේ අදහස ය.
වියන්ගොඩ මහතා පෙන්වා දෙන්නේ පලාතේ ප්‍රධාන මහජන නියෝජිතයා නොසළකා මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයා හා පලාතේ හමුදා නිලධාරීයා පමණක් පලාතේ සිවිල් කටයුතුවල ප්‍රධානත්වය ගන්නේ නම් පලාත් සභාවට පවරා ඇති බලය සම්බන්ධයෙන් ගැටළුවක් පැනනගින බවයි. පලාතේ මහ ඇමතිවරයා ලෙස අදාළ උත්සවයේ තමන්ට හිමි ස්ථානය අහිමිකර ඇත්නම් ශිෂ්ට සම්පන්න ලෙස විරෝධය පලකිරීමේ ක්‍රමය වන්නේ වැරැද්ද පෙන්වා දී උත්සවයට සහභාගි නොවී ඉවත්ව යෑම ය. රස්තියාදුකාර දේශපාලන හැසිරීම් මගින් ජාතිවාදින්ට උඩගෙඩි නොදී ශිෂ්ට සම්පන්න හා ඵලදායි විරෝධයන් හරහා මේ පිටුපස තිබෙන දේශපාලන ප්රශ්නය මතුකර ගැනීමට මහින්ද සංස්කෘතියට එරෙහි දේශපාලනඥයින් වගබලා ගතයුතු බව ගාමිණි වියන්ගොඩ මහතා පෙන්වා දෙයි.
