ආධාර දෙන්න පෙර පොරොන්දු ඉටු කරන්න ඉන්දියාවෙන් කාල සටහනක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවදුරටත් ණය සහ ආධාර ලබා දීමේ දී ඉන්දියාවේ ඉල්ලීම් පිළිබඳව දෙන පොරොන්දු ඉටු කිරීම සඳහා දෙපාර්ශවයට එකඟ විය හැකි නිශ්චිත කාල සටහනක් අවශ්‍ය බව ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ කළ සංචාරය අවසානයේ මෙම ඉල්ලීමට දෙපාර්ශවය එකඟ වී තිබේ.
ඒ අනුව, චීන සමාගමකට ලබා දීමට ගිවිසගෙන තිබු උතුරේ දුපත් තුනක සුර්ය විදුලි බලාගාර ඉදිකිරීම ඉන්දියාවට ලබාදිය යුතු අතර ඒ සඳහා වන වියදම ඉන්දියාව පුර්ණ ප්‍රධානයක් ලෙස ලබා දෙනු ඇත. මෙම බලාගාර ඉදිකිරීමට සැලසුම් කොට තිබුණේ ජාත්‍යන්තර ආයතනවල ණය ලබා ගනිමිනි. එම ණය ලබා ගැනීම අවශ්‍ය නැති බවත්, ඉන්දියාව ප්‍රධානයක් ලෙස එය ලබාදෙන බවටත් එකඟ වී තිබේ.
ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම අලුත් කිරීම, සාම්පුර්හි විදුලි බලාගාරයක් ඉදිකිරීම, පළාත් සබැ මැතිවරණ පැවැත්වීම, පළාත් සභාවලට 13 වැනි සංශෝධනයෙන් නියම කොට ඇති බලතල සම්පුර්ණයෙන් පවරා දීම, සහ ඉන්දියාව සමග කෙරෙන අනෙකුත් ආයෝජන ගිවිසුම් පිළිබඳව ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක වන නිශ්චිත කාල වකවානු අවශ්‍ය බව ඉන්දියාවේ ස්ථාවරය වී තිබේ. ඉන්දියාව තම ආධාර නිකුත් කිරීම ද ශ්‍රී ලංකාවේ කාල සටහනේ එක් එක් අදියර සම්පුර්ණ කිරීමත් සමග සිදුවනු ඇත.
මෙබඳු කාල සටහනක් පිළිබඳව එකඟත්වයක් ඇතිවූ බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා නිකුත් කළ නිවේදනයේ ද සඳහන් නමුත්, ඒ ගැන වැඩි විස්තර එහි අඩංගු නොවේ.
ඉන්දියාවෙන් ලබාගන්නා ඉන්ධන සහ ආහාර මිල දී ගැනීමට ණය ලබා දීම, ආයෝජන ලබා දීම , ගෙවුම් ශේෂය පියවා ගැනීමට ණය ලබා දීම , ආදිය ද ඉන්දියාව විසින් කාල සටහනකට අනුව සිදු කරනු ඇත්තේ ශ්‍රී ලංකාව තම පාර්ශවයෙන් වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් ය.
