ආර්ථිකය විනාශ කරන හැටි රාජ්‍ය ඇමති සේමසිංහ උජාරුවෙන් කියයි ; තවත් ලක්ෂයක් රාජ්‍ය සේවයට

මේ වනවිටත් පමණට වඩා විශාල වී ආර්ථිකයට මහ බරක් වී ඇති රාජ්‍ය සේවයට තවත් ලක්ෂයක් දෙනා බඳවා ගැනීමට රජය  කටයුතු කරමින් සිටින බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ, එහෙත් එම කඩඉම පසුකර යාමට අසමත් වූ ලක්ෂයක පිරිසක් මෙලෙස රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩසටහන මේ වන විටත්  ක්‍රියාත්මක කොට ඇති බවත් ඒ යටතේ 45,000 ක පිරිසක් මේ වන විට රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති බවත් ඒ මහතා  පවසයි.

අද (07) දින පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

දේශපාලන අවශ්‍යතා මත රාජ්‍ය සේවයට දැනටමත් විශාල පිරිසක් බඳවාගෙන, එයින් වැඩිවන රාජ්‍ය වියදම පියව ගැනීමට මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමෙන් රුපියල අව ප්‍රමාණ වී ඩොලර් අර්බුදයක් නිර්මාණය වී තිබීම ගැන ආර්ථික විශේසඥයන්ගේ විවේචන එල්ල වෙමින් තිබිය දී මෙන් ම, දැනට රාජ්‍ය සේවයේ  සිටින සේවකයන්ට ද වැටුප් ගෙවීම පවා ප්‍රශ්නයක් වී තිබිය දී , රජය මෙලෙස තවත් සේවකයින් රාජ්‍ය සේවයට බඳවා ගනිමින් සිටියි.

පාර්ලිමේන්තුවේ මේ ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙසේ ද ප්‍රකාශ කොට ඇත.

2015 – 2019 කාලපරිච්ඡේදය තුළ දී සමස්ත රාජ්‍ය සේවයට ලබා දීලා තියෙන රැකියා අවස්ථාවන් 22,145 යි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වූවාට පසු සංවර්ධන නිලධාරී සේවයට උපාධිධාරීන් පත්වීම් පමණක් මේ වෙන කොට 60,000 ක් ලබාදීලා තියෙනවා.

මේ හැටදාහ ලබා දීලා, පුහුණු කාලය අවසන් කරලා ඔවුන් ස්ථිර කරන්න අවශ්‍ය වැඩකටයුතුත් කරලා තියෙනවා.

ඊට අමතරව සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත, එසේ නැත්නම් සාමාන්‍ය පෙළ කඩඉම පසුකරන්න බැරි සහෝදර සහෝදරියන් ලක්ෂයක් රාජ්‍ය සේවයට එකතු කර ගැනීමේ වැඩසටහන මේ වෙන කොට ක්‍රියාත්මක වෙලා , ඒ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරලා මේ වෙන කොට 45,000 ක් දෙනා බඳවා ගෙන තියෙනවා.

ආර්ථික විශේෂඥයින් කියන්නේ මෙලෙස රාජ්‍ය සේවය වැඩි කිරීම ආර්ථිකය විනාශ කිරීමක් බවයි. එමෙන් ම මොවුන්ට වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමේ විශාල බරක් අනාගත පරපුර මත පැටවීමක් මෙමගින් සිදුවන බවයි.

කෙසේ වෙතත්, තමන් තවත් සේවකයින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා  බව රාජ්‍ය ඇමති සේමසිංහ මහතා කියා ඇත්තේ උජාරුවෙනි.

දේශපාලන වුවමනාව මත මෙලෙස රාජ්‍ය සේවයට බඳවා ගැනීම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කළ අතර ඔහුගේ දේශපාලනයට එරෙහිව එජාප තුළ මතු වූ කැරැල්ලේ දී ඒ මහතාට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වුයේ පාක්ෂිකයින්ට රජයේ රැකියා ලබා නොදීම ය.

රාජපක්ෂ ආණ්ඩුවල ප්‍රතිපත්තිය වී ඇත්තේ රාජ්‍ය සේවයට තම පාක්ෂිකයින් පුරවා මහජන මුදලින් වැටුප් සහ සියලු වරප්‍රසාද ලබා දීම යි.

මෙහි දී ආණ්ඩුව දේශපාලන වාසි ලබාගන්නේ මෙලෙස  අනාගත පරපුර ද බිල්ලට දෙමින් ය.

තවමත් මේ සියල්ල එලෙස ම කරන්නේ මේ වනවිටත් ආර්ථිකය අර්බුදයට ගොස් ජනතාව සාගතයකට ද මුහුණ දෙන තත්ත්වයට පත්ව තිබිය දී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *