පොහොර තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනයට මුදල් ඇමති බැසිල් අත්සන් නොකරයි ; නිලධාරීහු විමතියෙන්

රසායනික පොහොර තහනම් කළ ගැසට් නිවේදනය වහාම අහෝසි කිරීමට පසුගිය සඳුදා රජය ගත්  තීරණය අනුව නව ගැසට් නිවේදනය සකස් කොට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කොට ඇතත්, ඒ මහතා මේ වනතෙක් එයට අත්සන් කොට නැති අතර සිදුවන්නේ කුමක් දැයි නිලධාරීන විමතියට පත්ව සිටින බව දැනගන්නට ඇත.

මෙම ගැසට් නිවේදනය ප්‍රමාද වීම ගැන කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිකුරාදා පාර්ලිමේන්තුවට කීවේ එදින ම එය නිකුත් කරන බවයි. සිකුරාදා එය නිකුත් නොවූ අතර මේ දක්වා එය නිකුත් කොට නැත.

ඒ පිළිබඳව විමසීමේ දී දැනගන්නට ලැබුණේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයට තම අත්සන යොදා නැති බවයි.

මෙම ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව ඇත්තේ මුදල් ඇමතිවරයාගේ අත්සන යටතේ ය.

ඒ සඳහා සකස් කළ ගැසට් නිවේදනය පසුගිය බ්‍රහස්පතින්දා වන විට මුදල් අමාත්‍යංශය වෙත ලැබී තිබු බව කියති.

මෙම තත්ත්වය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශයේ මෙන් ම මුදල් අමාත්‍යංශයේ ද නිලධාරීහු විමසිල්ලෙන් සිටිති.

කුමකින් කුමක් සිදුවන්නේ දැයි ඔවුන් විමතියට පත්ව බලා සිටින බව අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *