පොලිස්පතිට කලින් දින දැන් වූ පසුවත් ටින්කර් ලසන්ත ඝාතනය කළාට නීතිඥ සංගමය මැදිහත් වෙයි

පොලිස්පතිවරයාට සහ මානව හිමිකම් කොමිසමට කලින් දිනයේ දැනුම් දී ආරක්ෂාව ඉල්ලා තිබිය දී පොලිස් අත් අඩංගුවේ සිටි සැකකරුවකු ඝාතනය කිරීම ගැන සිය බලවත් කනස්සල්ල ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ටින්කර් ලසන්තගේ මරණ පරීක්ෂණයට නීතිඥ සංගමය ලෙස මැදිහත්වීමටත්, මෙබඳු ක්‍රියාවලට එරෙහිව ඉහළ අධිකරණවල මැදිහත්වීම ලබා ගැනීමටත් ක්‍රියා කරන බවත ප්‍රකාශ කරයි.
තම සේවා දායකයාගේ ජීවිතයට අනතුරක් ඇති බව ටින්කර් ලසන්තගේ නීතිඥයා කලින් දිනයේ නීතිඥ සංගමය දැනුවත් කළ බවත්, ඒ ගැන තම සංගමය පොලිස්පතිවරයා සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුවත් කළ බවත්, එසේ කර තිබිය දී පසුදින ටින්කර් ලසන්ත නමැති සැකකරු ඝාතනය කොට ඇති බවත් නීතිඥ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ ය.
එහි දී කතාකළ නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ මෙම සිදුවීම පිළිබඳව අපක්ෂපාත පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, ඒ සඳහා මෙම සිදුවීමට සම්බන්ධයක් නැති වෙනත් පිරිසක් පත්කළ යුතු බව තමන් ඉල්ලා සිටින බවත් ය.
කළුතර පොලිස් අත් අඩංගුවේ සිටි ටින්කර් ලසන්ත නමැති සැකකරු පසුගිය දා ඝාතනයට ලක් වූ අතර එය සිදුවුයේ පොලීසිය ඔහු ඝාතනය කිරීමට සැලසුම් කොට ඇති බවට පුවත් පළ වී තිබිය දී ය.
සුපුරුදු ලෙස පොලීසිය කීවේ ආයුධ පෙන්නන්නට ගොස් පොලිසියට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ දැරූ විට ප්රතිපාහැර එල්ල කළ බව යි.
නීතිඥ සංගමය කියන්නේ මෙය සැලසුම් කළ මිනීමැරුමක් බව සහ එම සැලසුම ගැන තම සංවිධානය ඝාතනයට කලින් දින පොලිස්පතිවරයා දැනුවත් කළ බව යි.
