ජනාධිපතිතුමාගේ ප්‍රකාශය හමුදාවේ ප්‍රතිරූපයට කැළලක් – විචාරකයෝ කියති

තමන්ට ද හමුදාවේ ක්‍රමයට වැඩ කළ හැකි බවටත්, ගොවීන්ගේ බෙල්ලෙන් අල්ලා කාබනික ගොවිතැනට යොමු කළ හැකි බවටත් , ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඊයේ කළ ප්‍රකශය මගින් මෙරට හමුදාව පිළිබඳව ජාත්‍යන්තරයේ ඇති ප්‍රතිරූපයට බරපතළ හානියක් සිදුවන බව දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරති.

ජනතාවගේ බෙල්ලෙන් අල්ලා හෝ තර්ජන ගර්ජන කොට හෝ වැඩ ගැනීම ශ්‍රී ලංකා හමුදාවේ පිළිවෙතක් බව එමගින් හැඟී යන බවත්, තිස් අවුරුදු යුද්ධය තුළ පවා ශ්‍රී ලංකා හමුදාවට එබඳු චෝදනා එල්ල වී නැති බවත් ඔවුහු පෙන්වා දෙති.

එබැවින් ජනාධිපතිතුමාගේ කතාව ශ්‍රී ලංකාවේ හමුදාවේ කීර්තියට හානියක් බව එම විචාරකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.

අන්තර් ජාලය ඔස්සේ මේ පිළිබඳව විචාරයක යෙදුනු භාරත තෙන්නකෝන් විචාරකයා පෙන්වා දුන්නේ ජනාධිපතිතුමා මෙම ප්‍රකාශය කළ රැස්වීමට ද විදේශ නියෝජිතයින් සහභාගී වී සිටි බව සහ ඔවුන් කතාවේ ඉංග්‍රීසි පිටපත ලබාගෙන කියවනවාට අමතරව ජනාධිපතිතුමාගේ අංග චලනයන් ද නිරීක්ෂණය කරන්නට ඇති බව යි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ  කළේ ගොවිතැනට අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායන සියල්ල තහනම් කරමින් ජනාධිපතිතුමා කර ඇත්තේ ගොවියාගේ බෙල්ලෙන් අල්ලා කාබනික  ගොවිතැනට යොමු කිරීම හා සමාන ක්‍රියාවක් බවයි. එනම් බලහත්කාරයෙන් කාබනික ගොවිතැනට යොමු කිරීමක් බවයි.

ජනාධිපතිතුමාගේ කතාව ගැන ගොවි ජනතාවගේ කෝපය අද පැවති ගොවි උද්ඝෝෂණ වල දී ප්‍රකාශ වීය. සමාජ මාධ්‍ය තුළ ද එම ප්‍රකාශය බරපතළ ලෙස විවේචනයට ලක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *