යුරියා තහනම් කළ ආණ්ඩුව දියර යුරියා ( නැනෝ යුරියා ) ගෙන්වයි !

රසායනික පොහොර ලෙස සලකා යුරියා භාවිතය තහනම් කළ ආණ්ඩුව කාබනික පොහොර සඳහා තවදුරටත් වෙහෙසීම අත්හැර දමා යුරියාවල වැඩි දියුණු කළ සංයෝගයක් ලෙස ඉන්දියාවේ අලුතින් නිෂ්පාදනය කරන ‘නැනෝ යුරියා’ ලෙස හඳුන්වනු ලබන දියර යුරියා පොහාර ගෙන්වා බෙදා හැරීමට කටයුතු කොට ඇත.
මෙම පොහොර වර්ගය යුරියා වැඩි දියුණු කරමින් නිෂ්පාදනය කොට ඇත්තේ IFFCO ලෙස කෙටියෙන් හඳුන්වනු ලබන ඉන්දියානු ගොවි පොහොර සමුපකාර සංගමය විසිනි. තවමත් පර්යේෂණ තත්ත්වයේ පවතින මෙම පොහොර ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වා දෙන ලද්දේ පසුගිය ජුනි මාසයේ දී ය.
යුරියා පොහොර කැට වශයෙන් යෙදීමේ දී ඉන් කොටසක් පරිසරයට එක් වීමෙන් සිදුවන නාස්තිය සහ පරිසර දුෂණය මෙම නැනෝ යුරියා යෙදීම මගින් අවම කරගත හැකිවන බව එහි නිෂ්පාදකයෝ කියති.
නයිට්‍රජන් පොහොර ලෙස හඳුන්වමින් ආණ්ඩුව ඇනවුම් කොට ඇත්තේ මෙම නැනෝ යුරියා බව වාර්තා වෙයි.
ආණ්ඩුව මෙම පොහොර ලීටර් මිලියන 3.1 ක් ඇනවුම් කොට ඇති අතර ඉන් පළමු කොටස ලෙස ලීටර් ලක්ෂයක් හෙට දිවයිනට ළඟා වීමට නියමිත ය.
රසායනික පොහොර තහනමට අනුව මෙම පොහොර ද තහනම් විය යුතු නමුත් ආණ්ඩුව තමන්ගේ තහනම නොතකා මෙම යුරියා පොහොර ගෙන්වීම සිදුකොට ඇත.
කාබනික නයිට්‍රජන් ලෙස ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් මෙය හඳුන්වන්නට හැදුව ද ඉන්දියාවේ නිෂ්පාදකයින් එය හඳුන්වන්නේ නැනෝ යුරියා නැතහොත් දියර යුරියා වශයෙනි.
ඉන්දියාව හැරුණු විට නැනෝ යුරියා භාවිතා කරන ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. වෙනත් කිසිදු රටක මෙම පොහාර අත්හදා බලා හෝ ඇති බවක් දැනගන්නට නැත.
