ත්‍රස්තවාදී පනත වෙනස් කරන්න ආණ්ඩුව යුරෝපා සංගමයෙන් කල් ඉල්ලා ගනී

හිතුමතේ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකොට රඳවාගනීමට රජයට ඉඩ ලැබෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කරන බව ආණ්ඩුව යුරෝපා සංගම් නියෝජිතයින්ට පොරොන්දු වූ බවත්, ඒ සඳහා ගෙන ඇති පියවර දැනුම් දුන් බවත් සහ කෙටි කාලයක් තුළ එම කටයුතු නිම කිරීමට පොරොන්දු වූ බවත්, යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කොට ඇත. එමෙන් ම, රාජ්‍ය සේවයේ ස්වාධිනත්ව සහතික කිරීම ඇතුළු ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට අවශ්‍ය වෙනත් පියවර ගැනීමට ද රජය යුරෝපා සංගමයට පොරොන්දු වී තිබේ.
යුරෝපා සංගමයේ ජී එස් පී ප්ලස් බදු සහන ලබා දීමේ දී ශ්‍රී ලංකාව එකඟ වූ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ ඉටු කර ඇද්දැයි සොයා බැලීමට පසුගිය දිනවල මෙරට සංචාරය කළ යුරෝපා සංගම් නියෝජිත පිරිසට රජය මෙම පොරොන්දු ලබා දී තිබේ.
රජය මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ලබන වසර මුල දී යලි සමාලෝචනය කිරීමට ද දෙපාර්ශවය එකඟ වී තිබේ.
ශ්‍රී ලකාවේ සංචාරයෙන් පසු යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායම නිකුත් කළ නිවේදනයක් මෙම තොරතුරු ඇතුළත් ය.
යුරෝපා සංගමයට පසුගිය රජය දුන් පොරොන්දුවලට ගරු නොකරමින් වත්මන් රජය ත්‍රස්තවාදී පනත දිගට ම ක්‍රියාත්මක කරමින් විරුද්ධ මතධාරීන් අත් අඩංගුවට ගන්නා බව සහ රඳවා තබා ගන්නා බවත්, ප්රජාතන්ත්ර විරෝධී ලෙස ක්‍රියා කරන බවත්, එබැවින් ජී එස් පී ප්ලස් බදු සහනය ඉවත් කරන ලෙසත්, යෝජනාවක් යෝරෝපා සංගම් පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් වී ය. ඒ පිලිබඳ වාර්තා කිරීම සඳහා යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමක් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ය. ආණ්ඩුව ඉහත කී පොරොන්දු ලබා දී ඇත්තේ එම නියෝජිත පිරිසට ය.
ආණ්ඩුවේ පොරොන්දු අනුව ගනු ලබන ඉදිරි පියවර පිලිබඳ ලබන වසර මුල දී කරන සමාලෝචනයකින් පසුව ජී එස් පී බදු සහනය පිලිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදුවනු ඇත.
