නිලධාරීන් තමා රවටා ඇති බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද කියයි !

රටේ වී ගොවිතැන සහ අස්වැන්න ගැන තමන්ට ලැබී ඇති වාර්තා වැරදි බව නියැඳි සමීක්ෂණයකින් හෙළිදරව් වූ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කොට ඇත.
ඒ මහතා කියන්නේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව සපයා ඇති දත්ත වැරදි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය කළ නියැඳි සමීක්ෂණයකින් තහවුරු වී ඇති බව යි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ අද කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව ඇමතිවරයා මේ බව ප්‍රකාශ කොට ඇත.
පසුගිය දිනවල ඇමතිවරයා කියමින් සිටියේ රටේ මාස අටක පරිභෝජනයට අවශ්‍ය වී සහ සහල් ඇති බවත්, මහා මෝල් හිමියන්ගේ මාෆියාවක් වී තොග සඟවාගෙන සිටින බවත් ය.
ඒ අනුව එම තොග අත් අඩංගුවට ගැනීමට හදිසි නීතිය ක්‍රියාත්මක කොට බලධාරියකු පත් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළේ ය. කෙසේ වෙතත් , සිදුකළ වැටලීම් මගින් පෙනී ගියේ ඒ කියන තරම් තොග සඟවා නැති බව යි.
තමන්ට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැරදි දත්ත සපයා ඇති බව ඇමතිවරයාට සොයාගත හැකි වී තිබෙන්නේ ඒ සියල්ල සිදු වීමෙන් පසුව ය.
ඒ වන විට රජයට විශාල මහජන විරෝධයක් ඇති වී සහ දේශපාලන ප්‍රතිරූපය විනාශ වී හමාර ය.
