මාධ්‍ය සංදර්ශන බොරු ; සැඟවූ සහල්, සීනි තොග, හොර ගබඩා කිසිවක් හමු වී නෑ !

වෙළෙඳ මාෆියා විසින් සීනි සහල් සඟවා තැබූ රහසිගත ගබඩා වැටලු බවට, සහ සඟවා තිබු තොග රජය භාරයට ගත් බවට රජය විශාල මාධ්‍ය සංදර්ශන පැවැත්වුව ද , මෙම වැටලු ගබඩා කිසිවක් රහසිගත ගබඩා නොවන බවත්, අදාළ සමාගම් වසර ගණනාවක් තිස්සේ මෙම ස්ථානවල තොග ගබඩා කිරීම සිදුකොට ඇති බවත්, අත් අඩංගුවට ගත් බව කියන ප්‍රමාණයේ තොග අඩු වැඩි වශයෙන් හැමදාමත් එම ගබඩාවල තිබු බවත්, වෙළෙඳ පොළ ආරංචි මාර්ග කියයි.
විශේෂයෙන් ම, සීනි තොග ගබඩාවල තබා ඇත්තේ රට පුරා තොග වෙළෙඳුන් වෙත බෙදා හැරීමට බවත්, අලුත් තොග ලැබෙන තෙක් අඛණ්ඩව සැපයුම පවත්වා ගැනීමට මෙම තොග අවශ්‍ය බවත්, එම ආරංචි මාර්ග කියයි. කර්මාන්ත ශාලාවල විශාල ප්‍රමාණයේ අවශ්‍යතා සඳහා තිබු තොග ද වටලා තිබු බවත්, පසුව එම තොග නිදහස් කළ බවත්, තහවුරු වී ඇත.
රටේ සීනි අවශ්‍යතාවය මසකට ටොන් 50,000 ක් පමණ වෙයි. රජය වටලා සොයාගෙන ඇති මුළු සීනි ප්‍රමාණය ටොන් 30,000 ක් පමණ වෙයි. මෙය රටේ සති දෙකක සීනි අවශ්‍යතාවයට මදක් වැඩි ප්රමාණයකි. සැඟවූ සීනි මහා තොග කියා ආණ්ඩුව පෙන්වන්නේ මෙම ප්‍රමාණය යි.
සැඟවූ වී කියමින් ආණ්ඩුව කුඩා මෝල් හිමියන්ගේ සහ වෙළෙඳුන්ගේ තොග තමන් භාරයට ගෙන ඇත. සාමාන්‍යයෙන් වී නිෂ්පාදනය වන්නේ කන්න දෙකක දී ය. එවිට එම කන්නයේ වී රැගෙන ඉදිරි මාස හයේ මෝල්වල කොටා වෙළෙඳපොළට නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රමය යි. ඒ සඳහා රැස් කළ වී තොග ආණ්ඩුව පැහැර ගත් විට මෝල් හිමියන්ට ඉදිරි මාස කිහිපයේ මෝල්වල කොටන්නට සහල් නැති වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ ඉදිරියේ දී වෙළෙඳපොළේ දරුණු සහල් හිගයක් ඇති වීමයි.
වෙළෙඳපොළ ආරංචි මාර්ග කියන්නේ ආණ්ඩුව දැන් වෙළෙඳපොළේ භාණ්ඩ හිගය නිර්මාණය කරමින් සිටින බවයි.
කෙසේ වෙතත්, ආණ්ඩුවේ මෙන් ම ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍ය ද මේ වනවිට වෙළෙඳ මාෆියා මට්ටු කිරීමේ මහා මාධ්‍ය සංදර්ශනයක යේදී එමගින් පෙන්වනට හදන්නේ මේ සියලු ප්‍රශ්න දුෂ්ට වෙළෙඳුන්ගේ නිර්මාණ බව යි.
මේ කියන වෙළෙඳුන් බොහෝ දෙනෙක් ආණ්ඩුවේ ආධාර කරුවෝ වෙති. ඒ අතර ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයෝ ද වෙති. ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ ඇතැම් ඥාතීහු මේ කියන මාෆියා වල ප්‍රබලයෝ වෙති. පසුගිය කාලයේ ආණ්ඩුවෙන් විශාල බදු ලාභ ලබාගත් සමාගම් ද ඒ අතර වෙයි. කෙසේ වෙතත්, මාධ්‍ය සංදර්ශනවල පෙන්වන්නට හදන්නේ විපක්ෂයේ ඇතැම් දේශපාලඥයන්ගේ සම්බන්ධකම් ය.
මෙම මාධ්‍ය සංදර්ශන අනුව නම් මේ රටේ වෙළෙඳපොල පාලනය කරන්නේ ආණ්ඩුව නොව විපක්ෂය සහ එහි ඇතැම් දේශපාලඥයින් විසිනි.
