“ඔබතුමා සමග දිගටම ගියා නම් බිල්ලට යන්න වෙන්නේ මටයි” – පොරෝහිත රජුට කී දේ ඇමැතිකමින් සමු ගනිමින් පවිත්‍රා කියයි

“ මා වළට දමා යාම ගැන ඔබ තුමාට ස්තුතියි . ඔබතුමා සමග දිගට ම ගියා නම් බිල්ලට යන්න වෙන්නේ මටයි . මම බේරුනේ ඔබතුමා මා වළට දමා ගිය නිසයි “ යයි තමා වළට දමා ගිය රජතුමාට පොරෝහිත පැවසු බව පැරණි අටුවා කතාවක් උපුටා දක්වමින් හිටපු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද ප්‍රකාශ කළා ය. ඒ මහත්මිය මෙම ප්‍රකාශය කළේ සෞඛ්‍ය ඇමති ධුරයෙන් සමු ගනිමින් අමාත්‍යංශ නිලධාරීන් අමතා අද කළ කතාවේ දී ය.

අටුවා කතාවකින් ඇය කීවේ පොරෝහිත සමග ගමනක් ගිය රජුට වන සැම වැරදීමක දීම “ කොයි දේ වෙන්නෙත් හොඳටයි “ කී පොරෝහිත රජුගේ ඇඟිල්ලක් කැපී ගිය විටත්, එම කතාව ම කී බව යි. එයට කෝප වූ රජු පොරෝහිත වළකට දමා  ඉදිරියට ගිය බවත්, එසේ ගිය රජු වනචාරීන්ට හසු වූ බවත්, එතුමිය පැවසුවාය .

බිල්ලට දෙන්නට සුදානම් වන රජුට නිදහස ලැබෙන්නේ ඔහුගේ ඇඟිල්ලක් අඩු වී තිබු නිසා ය. බිල්ලට ගන්නේ සම්පුර්ණ මිනිසුන් නිසා රජුට නිදහස ලැබුණි.

නිදහස් වූ රජුට තේරුම් ගියේ “කොයි දේ වෙන්නෙත් හොඳටයි “ කී පොරෝහිතගේ කියමන සත්‍ය වූ බව සහ තම ජීවිතය බේරුණේ ඇඟිල්ල කැපී තිබු නිසා බවයි.

ආපසු පැමිණි රජු පොරෝහිත වළෙන් ගොඩගෙන ඔහුගෙන් සමාව ඉල්ලීය. එවිට පොරෝහිත නැවත කියන්නේ කොයි දේ වෙන්නෙත් හොඳට බවයි. රජතුමා සමග දිගට ම ගියා නම් වනචාරීන් බිල්ලට ගන්නේ සම්පුර්ණ මිනිසකු වූ  තමන් බව කී පොරෝහිත තම ජීවිතය බේරුණේ රජතුමා තමා වළට දමා ගිය නිසා බව පැවසීය.

“ඔබතුමා  සමග දිගටම ගියා නම් බිල්ලට යන්න වෙන්නේ මටයි “ කියා පොරෝහිත කියන්නේ එම අවස්ථාවේදී ය.

තමන් අද ජනාධිපති කාර්යාලයට යන තෙක් සිදුවන්නේ කුමක්දැයි දැන නොසිටි බව කී ඇමති තුමිය තමන්ට යම් දුකක ඇතත්, ‘කොයි දේ වෙන්නෙත් හොඳටයි’ කීවේ ඉහත කතාව කියමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *