මහ බැංකු අධිපති අයින් කරන්න අලුතින් කෙනෙකු සොයති ! ගන්න කෙනෙකු නෑ !!

මහ බැංකුවේ වත්මන් අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා එම තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවත්, එම තනතුරට පත් කිරීමට සුදුස්සකු සොයමින් සිටින බවත්, තතු දත් ආරංචි මාර්ග කියයි. එම තනතුර භාර ගැනීමට කැමති සුදුසු තැනැත්තකු සොයා ගැනීමට ආණ්ඩුවට මෙතෙක් නොහැකි වීම නිසා අලුත් අයෙකු පත් කිරීම දිගට ම කල් යමින් තිබෙන බව ද කියති.

වත්මනර්තික අර්බුදය හමුවේ මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය පිලිබඳ විවේචන එල්ල වී තිබීම මෙයට හේතුව බව කියති.

රටේ මුදල් කළමනාකරණය සහ මුදල් නෝට්ටු විශාල ලෙස මුද්‍රණය කිරීම ගැන පසුගියදා ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී ද මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව චෝදනා එල්ල වී තිබේ. එම අවස්ථාවේ මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ එම චෝදනා විපක්ෂයෙන් එල්ල කරන චෝදනා බව සහ ඒවාට තමන් ඉක්මනින් පිළිතුරු දෙන බවත් ය.

කෙසේ වෙතත්, එම පිළිතුර ගැන එම සාකච්ඡාවට සම්බන්ධ වූ බොහෝ දෙනාගේ ප්‍රසාදයක් නොවූ බව කියති.

වත්මන් අධිපතිවරයා පත්වීමෙන් පසු බැංකුවේ හිටපු ජෙෂ්ට නිලධාරීන් කිහිප දෙනෙකු ඉල්ලා විශ්‍රාම ගියේ වැඩ කිරීමේ ගැටළු නිසා බව ද වාර්තා වී ය.

මහා බැංකු අධිපති ඉවත් කළ යුතු බවට අදහස ආණ්ඩුවේ නායකයින් තුළ ටික දිනක සිට තිබු බව කියන අතර  බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීමට ආචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා ඉවත් වන්නේ නම් ඒ මහතාට මෙම තනතුර දීමටත් එක අවස්ථාවක යෝජනා වී තිබිණි. කෙසේ වෙතත්, රන්ජිත් බණ්ඩාර මහතා තනතුරෙන් ඉවත් වීමට කැමති වුයේ නැත.

මහ බැංකු අධිපති තනතුර සඳහා සුදුසු විකල්ප තැනැත්තකු සොයා ගැනීමට රජයට මේ වනතෙක් හැකි වී නැති බව කියති.

මෙම තනතුර සඳහා සුදුස්සන් සොයාගත හැකි වුව ද ,ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති පිළිගන්න අයෙකු සොයා ගැනීම පහසු නැති බව කියති. මහාචාර්ය ලක්ෂ්මන් මහතා සැලකෙන්නේ සංවෘත ආර්ථිකයක් ගැන තවමත් විශ්වාස කරන පැරණි පරම්පරාවේ ආර්ථික විද්‍යාඥයකු වශයෙනි. එබඳු අදහස් ඇති තවත් අය සිටිය ද, මහ බැංකු අධිපති තනතුරට සුදුසු අයෙකු සොයා ගැනීම පහසු නොවන බව කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *