පාස්කු ප්‍රහාරය පිටුපස ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා ; එයට සම්බන්ධ අය ඉහළ තනතුරුවල සිටිනවා – අග රදගුරු තුමා

පාස්කු ප්‍රහාරය පිටුපස සැඟවුණු විශාල කුමන්ත්‍රණයක් ඇති බව මේ වනවිට හෙළි වී ඇති කරුණු වලින් පෙනී යන බවත්, එය හෙලි කිරීමට ප්‍රමාණවත් පරීක්ෂණයක් සිදු වී නැති බවත්, අග රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ අද ප්‍රකාශ කළ හ.
මෙම ප්‍රහාරයට වග කිව යුතු ඇතැම් තැනැත්තන් තවමත් රජයේ ඉහල තනතුරු දරමින් සිටින බවත්, එය තම ජනතාවට වේදනාවක් බවත්, උන් වහන්සේ වැඩි දුරටත් පැවසීය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමේ සාමාජිකාවක් වන සාරා ජෙස්මින් මිය ගිය බව වාර්තා වී නැති බවත්, ඇගේ ඩී එන් ඒ හමු වී නැති බවත්, පෙන්වා දුන් රදගුරු තුමා ඇගේ ඩී එන් ඒ සෙවීමට නැවත මිනී ගොඩ ගැනීම විහිළුවක් බව ද කීය.
සාරා ජෙස්මින් මඩකලපුවේ සිට මන්නාරමට කැටුව ගියේ පොලිස් නිලධාරියකු බව කී රදගුරු තුමා එම සම්බන්ධය කුමක්දැයි ප්‍රශ්න කළේ ය. එමෙන් ම, මෙයට හමුදාවේ බුද්ධි අංශවල පිරිස් සම්බන්ධ වීම ගැන ද එතුමා සඳහන් කළේ ය. එම කරුණු පිළිබඳව ද පරීක්ෂණ සිදු වී නැති බවට අග රදගුරු තුමා චෝදනා කළ හ.
අග රදගුරු තුමා වැඩි දුරටත් පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු වී ඇති පරීක්ෂණ පිළිබදව කිසිදු විශ්වාසයක් නැති බව යි.
