ෆොන්සේකා ද නැති අතරේ මහින්ද ගෝඨාගේ අනසකට යටත් උනා- වාසුදේව නානායක්කාර (1වෙනි කොටස)

ධූර කාලය නිමවිමට තවත් වසර දෙකක් තිබිය දී ජනාධිපතිවරණයකට නොයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කරන්නට බොහෝ දේවල් තිබුණි. යුද්ධය අවසන් වූ හැටියේම මම කිව්වේ සංහිඳියාවේ යුද්ධය යනුවෙන් නව යුද්ධයක් ආරම්භ කළ යුතු බව ය. ඒකට ප්‍රධාන වෙන්නේ මිනිසුන් හිටපු තැන්වල නැවත ස්ථානගත කිරීම හා මිනිසුන්ගේ ජන ජීවිතය නැවත නගාසිටුවිම ය. මේ සඳහා යුද්ධයට කළ වියදමට වඩා වියදමක් කළයුතු බව ද මම අවධාරනය කළෙමි. එහෙම කළොත් තමයි යුද්ධයේ ඇත්ත ප්‍රතිඵලය කරා එළඹෙන්නේ. ඒකයි කළ යුතුව තිබුණේ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නොකළේ ද එයම ය. ඊට පසුව මතු වූ ප්‍රශ්නය තමයි හමුදාවේ පාලන බලය. මේක ඉවත් කිරීමෙන් තොරව ජනතාවට නිදහස, සිවිල් අයිතිවාසිකම් ලබාගන්නට නොහැක. සිංහළ හමුදාවකට යටත්ව තමයි අපි ජීවත් වෙන්නේ කියන සඤ්ඤාණනය දෙමළ ජනයා ගලවන්නටත් නොහැකි ය. දෙමළ ජනයාගේ සංඤ්ඤාණනය ඒක වන නිසා අපේ හමුදාව සිංහළ හමුදාවක් නොවෙයි කිව්වට වැඩක් නැත. ඒ සඤ්ඤාණනයයි වැදගත්. ඒ ගැනත් මම කිව්වා, මේ හමුදාව සිවිල් කටයුතු වලින් ඉවත් කරන්න කියලා. අන්තර් කාලීන වශයෙන් උවමනා කරන සම්බන්ධිකණනයක් තියාගන්න. මක්නිසා ද යත් යුද්ධය අවසන්වුණා විතරයි නිසා. ඒ ආකාරයට යුද්ධය කෙළවර කිරීමේ ක්‍රියාදාමයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තිබුණේ නැත. යුධ තත්ත්වයක් පවත්වාගෙන යෑමේ ක්‍රියාදාමයක් තමයි තිබුණේ. මේ තත්ත්වයන් තමයි යුද්ධය අවසන් කිරීමේ අර්ථය සරු කරගන්නට අපිට බැරි වූ හේතුව.
ඒ ස්ථාවරයේ මා පමණක් නොව තවත් අය ද සිටි නමුත් ඒ ගැන කථා කළේ ටික දෙනෙකි. නමුත් වැඩි දෙනෙකුට මා කියූ කාරණාව නොතේරුනා නොවේ. කිහිප දෙනෙක් එසේ පැවසුවත් එය වළක්වා ගන්නට නොහැකි වූයේ ඇයිද යන්න තේරුම් ගැනීමත් වැදගත් ය. ජයග්‍රහණය කරන ඕනෑම හමුදාවක ස්වරූපය එසේ ය. කැරැල්ලක් මර්ධනය කළාට පසු හමුදාවක් එක්තරා ආකාරයකට රාජ්‍ය යන්ත්‍රණය තුළ ප්‍රභලත්වයක් ලබනවා වගේම ජයග්‍රහණය කළ හමුදාව හැටියට තමන් ඒ අත්පත්කරගත් ජයග්‍රහණයන් හා එහි කොටසක් වූ වත්කම් අවකාශය අත්හරින්නට කැමති වන්නේ නැත. ඕනෑම හමුදාවක ස්වරූපය ඒක ය. භෞතික අවකාශය පමණක් නොව පාලනයේ අවකාශයත් අත්හරින්නට අකැමැති ය. ඒ නිසාම ආණ්ඩුව තුළ ජනාධිපතිතුමාගේ මතයයි ගෝඨභයගේ මතයයි අතර ගැටුමක් තිබුණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යම් යම් සාධණීය දේවල් කිරීමට එකගත්වය පලකළ නමුත් ගෝඨාභය ඒකට විරුද්ධ විය. විරුද්ධවූවාට පසු ජනාධිපතිතුමා කථාව අත්හැර දමන එකයි අවසානයේ දී සිදුවූයේ. උදාහරණයක් ලෙස උතුරේ ආණ්ඩුකාරයාගේ ප්‍රශ්නය ගත හැක. සිවිල් ආණ්ඩුකාරයෙක් පත්කිරීමට සම්පුර්ණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එකගවෙලයි සිටියේ. ඊට පසු දැන්ම ම ඒක කරන්නට බෑ ආරක්ෂාව ගැන සහතික වෙන්නට බෑ යැයි පසුව පැවසී ය. විග්නේෂ්වරන් අරළියගහ මන්දිරයට පැමිණ දිවුරුවේ ඒ තරම් විශාල පියවරක් තැබිමෙනි. නමුත් ඒ දුන්නා වූ ඉඩ අවකාශය තුළින්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හිතේ තියෙන උවමනාව ඉටු කරගන්න බැරි විය. ජනාධිපතිතුමා, සරත් ෆොන්සේකා ද නැති අතරේ තනිකර ගොඨාභයගේ අනසකට යටත් වූ බවක් පෙන්නුම් කළේ ය. ෆොන්සේකා හිටියානම් ඔහු හා ගෝඨභය අතර ඇති බලතරගය තුළ ජනාධිපතිතුමාට වැඩි ඉඩකඩක් ලැබෙන්නට ඉඩතිබුණු බවයි මාගේ මැණිම. ඒකත් ඉවර කරගත්තා ගොඨාභය කල්වේලා ඇතිව හමුදාපතිගේ බලය අවසන්කරන්නට පියවර අරගෙන.
ඊ් ළගට ඔබ ප්‍රශ්න කරන්නට පුළුවන් දේශපාලන නායකයා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හමුදාව පාලනය කරගන්නට එම දේශපාලන බලය යොදාගන්නට තිබුනා නේද යන්න. ජනාධිපතිතුමාට විශාල ගෞරවයක් හා ආදරයක් ඇතිවුණා විවිධ ජනකොටස් තුළ යුද්ධය අවසාන කිරීම සම්බන්ධව. ගෝඨභය ද ඒකේ පංගුකාරයෙකු විය. ගෝඨාභය ඒ සඳහා දැණුවත්ව ම දේශපාලන කටයුතුවල නියැලුනි. පුවත්පත් ප්‍රකාශයන් කළේ ය. ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෞරවයක් තිබුණා නම් ඒක සෑම විටම ගෝඨභයත් සමග බෙදාගන්නට සිදු වී තිබුණි. ඒක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ තිබුණු එක දුර්වල කමක් වූයේ. අනික, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහෝදරයා වීම ද මෙයට බලපෑවේ ය. අනික් එක ගෝඨාභය මත සම්පූර්ණයෙන්ම ඔහු යැපෙන්නට පටන් ගත්තේ ය. සෑම විටම ඔහු තවත් කෙනෙක් මත යැපෙන චරිතයක් වූ බවයි මට පෙනෙන්නේ. මේක ඔහුගේ එක්තරා දුර්වලකමක් හැටියට හැඳින්විය හැක. ඒ ඇරෙන්නට වෙනස් දෙයක් ගැන ඔහු හිතන්නේ නැත. එයාට ඒ වෙනුවට විකල්ප මිනිසුන් ද සිටියේ නැත. මම යමක් ගැන දන්නේ නැතිනම් ඒ ගැන දන්න අයගෙන් අසා දැනගැනීම මගේ සිරිත ය. එහෙත් මොහු තුළ එවැන්නක් තිබුණේ ම නැත. ඊ ළගට, වගකීම ද යැපෙන්නා මත පැටවීම ඔහුගේ සිරිතක් විය. අනික් අතට ඔහුව නියෝජනය කළ සිංහළ බෞද්ධ බලවේගයේ අනුකුලතාවය මගින් ද මෙසේ ප්‍රජාතන්ත්‍රවවාදයට එරෙහි පියවරයන්ට යන්නට ජනාධිපතිතුමාට අනුබලයක් ලබා දුන්නේ ය. ඒ කාරණයත් මහින්දට ගෝඨභය දෙසට බරවීමට හේතුවක් විය. ඒක හේතු දෙකක් නොව එකකි. ගෝඨාභයගේ ආකල්පයයි, ඔහුගේ උපායයි සිංහළ බලය පවත්වා ගැණිමේ අනුකූලත්වයයි මේ දෙක දෙපැත්තකින් පැමිණි එකම දෙයකි. ගෝඨාභය නියෝජනය කළේ එම බලයයි. ගෝඨභය ඒ බලයත් එකතු කරගෙන තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව තමන්ගේ වසගයට ගත්තේ.
ඒකාබද්ධ විපක්ෂය ගතහොත් ඒ සිංහළ ජාතිකවාදි බලවේගය තුළ අදත් ඒ මෙහෙයුම තිබෙන්නේ ද යනුවෙන් ඔබ අසන්නේ නම් එය තියෙන බවයි මට කියන්නට වෙන්නේ. සිංහල ජාතික බෞද්ධ බලවේග මෙන්ම සිංහළ බලවේගය අපේ විපක්ෂය තුළ තිබේ. ඒ බලවේගයන්ගේ නියෝජිතයින් හැටියට ඇතැම් නායකයින් ක්‍රියාත්මක වෙන බව පැහැදිළි ය. මක්නිසා ද යත් ඒ බලවේගයන් මත පදනම් වෙලා තමයි ඒ අය තම නායකත්වය තහවුරු කරගන්නට මහන්සි ගන්නේ. සිංහල ජාතික බලවේග තමයි සම්ප්‍රදායානුකූලව මේ රටේ බලය පිළිබඳ තීරණාත්මක සාධකය වූයේ. මම කියූ ඒ නායකයෝ ඊට අනුරූපව ඒ ක්‍රියාදාමය තුළ තවත් ඉදිරියට යා හැකිය යන බලාපොත්තුව තුළ සිටිති. නමුත් ඒ අය සමග දැනට අපි පොදුවේ සාකච්ඡා කරන විට සාමාන්‍ය මන්ත්‍රිවරුන්ගෙන් මතු වෙනවා සිංහළ ජාතික බලවේගයට යටවෙන්නට නොහැකි බව. එහෙම වුනොත් අපිට දෙමළ සහ අනිකුත් සුළුජන කොටස් අහිමිවන බව ඔවුහු කියති. එහෙම වෙලා තමයි අපිට කෙළවුනේ යැයි ඔවූහු තියති. ඒ නිසා අයෙමත් සිංහළ ජාතික බලවේගයේ පරම බලය පිහිටුවන්නට නම් එන්නට එපා යැයි ඔවුහු නිතර කියති. ඒ අතර එක්තරා විදියකට පෙනෙන්නට තිබෙනවා සිංහළ ජාතික බලවේග මුල්කරගෙන අනිකුත් බලවේග බැහැරවීමට හේතුවන ආකාරයට අපි නැවත ක්‍රියා නොකළ යුතුයි කියන අදහස. ඒ අතරම මේ බලවේගය තමයි බලයේ වාහක ය. ඒ වාහකයත් සමග ඇති බැඳීමෙන් මිනිසුන් අපිට ගැලවිය නොහැක.
අපිට වෙලා තියෙන්නේ, අපිට උවමනා මේ රටේ අධිරාජ්‍ය විරෝධි එකතුවක් ගොඩනගන්නට. සිංහළ ජාතික බලවේගය මත පමණක් පදනම් වී ඒ කර්තව්‍ය ඉටුකරන්නට අපිට නොහැක. නමුත් අනික් අතට ලංකාවේ සිංහළ ජාතික බලවේගය තමයි අධිරාජ්‍ය විරෝධි. තමන්ගේ අයිතීන් දිනාගන්නට දෙමළ ජාතික කණ්ඩායම්වල ජාතික බලවේගය අධිරාජ්‍යවාදින්ගෙන් උදව් ඉල්ලති. එතකොට අධිරාජ්‍ය විරෝධය කියන්නෙ දෙමළ ජාතික බලවේගයට ද එරෙහිව ව සටනක් ලෙස සිංහළ ජාතික බලවේගය කල්පනා කරති. මුස්ලිම් ජාතික කණ්ඩායම් අතර වූවත් ඒ අයගේ අයිතිය වෙනුවෙන් පෙනී හිටින්නේ අධිරාජ්‍යවාදය වේ. සිංහළ ජාතික බලවේගයේ නායකයින් අතර ඉන්න අයට තිබෙන ආකල්පය තමයි අධිරාජ්‍යවාදයත් සමග ගැටුම තමයි අවුලවන්නට අවශ්‍ය කියන එක. අපේ ආණ්ඩුවට වින කෙටුවේ අධිරාජ්‍යවාදය. ඒ නිසා ඔවුන්ට විරුද්ධ සටනේ දි ඔවුන්ගෙන් සහය ලබන සුළුජාතීන්ට ද එරෙහිව සටන්වැදිය යුතු බවයි ඔවුන් පවසන්නේ.
නමුත් වමේ අපි ඒකට එකග නැත. මේ සිංහළ ජාතික බලවේගයත් එක්ක මේ සුළුජාතින්ගේ අධිරාජ්‍ය විරෝධි කොටස් අමුණාගත යුතු බවයි අපි කියන්නේ. ඒකට විෂයබද්ධ ලෝක තත්ත්වයක් තිබේ. ලෝකයේ අද අධිරාජ්‍යවාදය මැදපෙරදිග රටවල් වනසනවා. ඒ ස්ලාමීය ශිෂ්ඨාචාරයත් සමග ගැටුමක තිබෙන්නේ. ඒකට එරෙහි මෙහෙ සිටින ස්ලාමීය තරුණ කොටස් එක්කර ගැනීමට ක්‍රියාකළ යුතුව තිබේ. අධිරාජ්‍යවාදින් මේ අය ප්‍රයෝජනයට ගන්න හදන්නේ අධිරාජ්‍යවාදීන්ගේ මුරපොළක් මෙහෙ හදාගැනීමට බව දෙමළ ජනතාවට අපිට පෙන්නන්නට අවශ්‍ය ය. එහෙම උනොත් දෙමළ ජනතාවගේ නිදහසත් යටපත් වෙනවා අධිරාජ්‍යවාදීන්ට. ඒ නිසා අධිරාජ්‍යවාදයටත් මෙන්ම ඉන්දියානු ආධිපත්‍යවාදයටත් විරුද්ධ වියයුතුයි. එවැනි තේරුමකට දෙමළ ජනතාව අරගනිමින් අපි ඇතිකරන එක්සත්කම තමයි අධිරාජ්‍යවාදයට එරෙහිව යන්නට තියෙන සාර්ථක බලවේගය වෙන්නේ. එහෙම නැත්නම් වෙන්නේ යුද්ධයක් ඇතිවුවහොත්, ඒ යුද්ධයේ දි අධිරාජ්‍යවාදින් ඒ කැරළි කරුවන්ට උදව් කිරීම තුළ අපිට අධිරාජ්‍යවාදයට යටත්වෙන්නට සිදු වේ.
දෙමළ ජනතාව අධිරාජ්‍යවාදින්ගේ පැත්තට නොයන්නට නම් දෙමළ ජනතාවගේ අයිතීන් ගැන ඔබ කියන්නේ කුමක් ද යන්න යමෙක් මගෙන් ප්‍රශ්න කළ හැක. වෙනත් විදියකින් කියන්නේ නම් න්‍යායිකව එසේ වූවත් සංයුක්තව ප්‍රශ්නය දිගහැරෙනවිට දෙමළ ජනතාවගේ ඉල්ලීම හා සිංහළ ජාතිකවාදීන්ගේ අපේක්ෂාව අතර පරස්පරයක් ඇති නොවන්නේ ද යනුවෙන් ඔබ මගෙන් ඇසිය හැක. උදාහරණයක් වශයෙන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දී දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඒ ව්‍යවස්ථාවට ඇතුලත් කරගතහොත් ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය එයට එරෙහිවන්නේ ද යන ප්‍රශ්ණය පැන නගින්නට පුළුවන. ඊ ළග කොටසේ දී මේ ගැන සාකච්ඡා කරමු.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *