සයිටම් යෝජනාවලිය සහ වාමාංශික ළදරු වලිප්පුව – අනුර සුරියබණ්ඩාර

 

වසර ගණනාවක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබුණ සයිටම් ප්‍රශ්නය මේ වන විට තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇතැයි කියන්න ටපුළුවන. ඒ ගැටළුව නිරාකරණය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමසමේ නිර්දේශ ඉදිරිපත්වීමත් සමගය. සයිටම් ආයතනය අහෝසි කිරීම සහ ඒහි පෞද්ගලික අයිතිය අහෝසි කිරීම ඇතුළු යෝජනා මාලාවක් ඊට ඇතුළත්ය.

මෙතක් සයිටම් විරෝධි සටනේ බලවත් භූමිකාවත් රඟදැක්වූ රජෙයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමය රජයේ යෝජනාවලියට ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබීම යහපත් ලක්ෂනයක් බව කියන්නට පුළුවන. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පවසා තිබුණේ අර්භූදය විසදීම සඳහා රජය ඉදිරිපත්කළ යෝජනා මාලාවේ ධනාත්මක කරුණු රාශියක් ඇතුළත්ව ඇති නමුත් තවදුරටත් නිවැරදි හා පැහැදිලි විය යුතු කරුණු ගණනාවක් ද ඇති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අදහසට අනුව සයිටම් ආයතනයේ අයිතිය නෙවිල් ප්‍රනාන්දු මහතාගෙන් සහ ඔවුන්ගේ පවුලෙන් ඉවත්කිරීම වෛද්‍ය අධ්‍යාපනයට අදාල අවම ප්‍රමිතිය වෛද්‍ය සභාව මගින් අනුමත කළ ලියවිල්ලකට අනුව නීතිගත කිරීම ආදිය නිවැරදිය.

සයිටම් ආයතනය අහෝසි කර පිහිටුවන ආයතනය පිළිබදව අවසන් තීරණය ගැනීමට පෙර සියලු පාර්ශ්ව වල ඒකඟතාව ලබාගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අදහසවී තිබේ.

කවර තත්ත්වයක් යටතේ වුව සයිටම් ගැටළුව නිරාකරණය කර ගැනීම සදහා පදනම් කර ගතහැකි යෝජනාමාලාවක් මේ වන විට ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති බව පිළිගත යුතුය. සයිටම් විරෝධීන්ගේ ඒක් සටන් පාඨයක් වූයේ සයිටම් ආයතනයේ පෞද්ගලික අයිතිය අහෝසිකරණු යන්නය. ඒ ඉල්ලීම ආණ්ඩුව පිළිගෙන තිබේ.

ආණ්ඩුවේ සයිටම් විසඳුම් යෝජනාවලිය ඉදිරිපත් වූ දිනයේම රැළියක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත මහතා යෝජනාවලිය ඉරා පසෙක තබන ආකාරය රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති ප්‍රකාශ ඔස්සේ දැකගන්නට ලැබිණි. ලාල්කාන්ත මහතාගේ හැසිරීම අනුව පැහැදිලි වන්නේ, ආණ්ඩුව ඉදිරිපත් කළ සයිටම් විසඳුම් මාලාවේ අන්තර්ගතය කුමක්ද යන්න පවා නොදැන ඒ මහතා එම යෝජනා මාලාව ප්‍රතික්ෂේප කළ බවය.

යම් යෝජනාවක් හෝ අදහසක් බාර ගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පෙර ඒ පිළිබඳ හැදෑරිමක් අවශ්‍යය. ලාල්කාන්ත මහතාගේ හැසිරීම අනුව පැහැදිලි වන්නේ යෝජනාමාලාව පෙරළා බලන්නට පවා ඔහුට අවශ්‍යතාවක් නැති බවයි. යෝජනාමාලාව ඉරා දැමුවා මිස ලාල්කාන්ත මහතා එය ඉරා දැමීමට බලපෑ හේතු පැහැදිලි කළ බවක් ප්‍රවෘත්ති විකාශන වලින් පැහැදිලි වූයේද නැත. අනෙක් අතට ආණ්ඩුව ඉදිරිපත් කළ විසඳුම් යෝජනාවලියේ එක් සාධනීය කරුණක්වත් අන්තර්ගතව නැතැයි පිළිගත හැකිද? එසේ නම් ලාල්කාන්ත මහතා කළ යුතුව තිබුණේ ආණ්ඩුවේ යෝජනා මාලාවෙන් මේ මේ යෝජනා සාධනීය ය මේ මේ යෝජනා නිශේධනීය ය යන්න පෙන්වා දීමය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසන්නේද ආණ්ඩුවේ යෝජනා මාලාව පිළිනොගන්නා බවයි. පිළිනොගැනීමට හේතු දැක්වීමක් ඔවුන් අතින්ද මෙතෙක් සිදුවී නැත.

ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඔවුන්ගේ ශිෂ්‍ය සංවිධානවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ආදීයට කවර තත්ත්වයක් යටතේ වුවද සයිටම් සටන අත්හළ නොහැකි බව ඔවුන්ගේ හැසිරීම අනුව පැහැදිලි වේ. එසේ අත්හැරීමට නොහැකි හේතුව සදාචාරාත්මක හේතුවක් නොව දේශපාලන කාරණයකි. එනම් ඔවුන්ට සාමාජිකත්වය රඳවා තබැගනීමට සටන් පාඨයක් අවශ්‍යව තිබීමයි. එය එක්තරා ආකාරයකින් දේශපාල දේශපාලන අවස්ථාවාදයක් වශයෙන් වටහාගත්තද වරදක් නැත. තමන්ගේ දේශපාලනය හේතුවෙන් රටට ආර්ථිකයට සිදුවන විනාශය සම්බන්ධයෙන් ජවිපෙ, පෙරටුගාමීන්, අනතරය වැන්නවුන් කල්පනා නොකරන නිසාය.

සයිටම් යනු වෛද්‍ය විද්‍යාලය පමණක් නොවේ, එහි වෙනත් අංශ වලින් උපාධි පිරිනැමෙන බව කවුරුත් දන්නා රහසකි. නමුත් විරෝධතාව එල්ලවී ඇත්තේ සයිටම් වෛද්‍ය උපාධියට පමණි. එහිදී විරෝධතාකරුවන් ප්‍රශ්න කළේ උපාධියේ ප්‍රමිතිය, ආයතනයේ පහසුකම්, පෞද්ගලික අයිතිය ආදියයි. දැන් ඒ පිළිබඳ ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කර තිබේ. එසේ නම් සිදුවිය යුත්තේ ඒ යෝජනා මත පිහිටා අඩුපාඩු ඇත්නම් සාකච්ඡාකොට කාටත් එකඟවිය හැකි විසඳුම ගොඩනගා ගැනීමයි. ජවිපෙ, පෙරටුගාමින් හෝ අන්තරය අතින් එය සිදුවන බවක් නොපෙනේ.

ජවිපෙ, පෙරටුගාමීන්, අන්තරය ආදියෙහි මතය සයිටම් ආණ්ඩුවට පවරා ගනු, ආණ්ඩුවෙන්ම උගන්වනු, ආණ්ඩුවෙන්ම උපාධි දෙනු, ආණ්ඩුවෙන්ම දොස්තරලාට රැකියා දෙනු යන්නය. සියල්ල ආණ්ඩුවෙන්ම කළ යුතුය යන සංකල්පය මේ වන විට අවලංගු සංකල්පයක් බව වටහා ගන්නට එක්කෝ ඒ අයට ශක්තියක් නැත. නැතහොත් ඒ බව පිළිගන්නට සූදානම් නැත.

පවතින අධ්‍යාපන ක්‍රමයේ මේ වන විට පැහැදිල විසමතාවන් අසාධාරණයන් පවතින බව කාට වුව පැහැදිලි විය යුතුය. අධ්‍යාපනයේ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට පවතින ක්‍රමයට නොහැකි වී තිබේ. නිදසුනක් වශයෙන් වසරකදී විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන පිරිසෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගනු ලබන්නේ සුළු පිරිසකි. අධ්‍යාපනයේ බලගතු ඇති නැති පරතරයක් පවතී. එනම් කොළඹ ආදී තැන් වල උපරිම පහසුකම් ඇති අතර පිටිසර ප්‍රදේශවල අවම පහසුකම් පවා නොතිබීමයි. ඉසෙඩ් ලකුණු ක්‍රමය වැනි සංකල්ප අවශ්‍යව ඇති හේතුව එයයි. ඉසෙඩ් ක්‍රමය ගත්ත ද එය අඩු පහසුකම් ඇති සිසුන්ට අවස්ථාව ලබා දෙන ක්‍රමයක් මිස සුදුස්සාට සුදුසුතැන ලබා දෙන ක්‍රමයක් නොවේ. සටන් කරනවා නම් කළ යුත්තේ එවැනි දේ මගහරවා ගැනීම සඳහා වන නමුත් ජවිපෙ, පෙරටුගාමි, අන්තරය ආදින්ගේ අදහස වන්නේ පවතින ක්‍රමය තවත් පවත්වාගෙන යාම බව පෙනේ.

නිදහස් අධ්‍යාපනය යනු ආණ්ඩුව වියදම් කර කෙරෙන අධ්‍යාපනයයි. ආණ්ඩුව මුදල් උපයන්නේ බදු පැනවීමෙනි. අනෙක් අතට මේ වන විට නිදහස් අධ්‍යාපනය පාසල් පද්ධතිය යනු බල පුළුවන්කාරයන්ගේ කෙළිමඬලකි. ඈත මොණරාගල ගොවියාගේ බදු මුදලින් කොළඹ හෝ ගම්පහ දරුවනට පිහිණුම් තාටාක ලබාදෙන ක්‍රමයක් බවට අධ්‍යාපන ක්‍රමය පත්වී නැතැයි කිව හැකිද? මුදල් සහ බලය ඇති අයගේ දරුවනට වැඩි පහසුකම් සහිත විදුහලක ඉගෙනුම ලැබිය හැකිය. බලය හෝ මුදල් නැති දරුවනට ගමේ පාසල්ය.

මුදල් බෙහෙවින් ඇති අයගේ දරුවන් බටහිර රටවලින් වෛද්‍ය උපාධි ලබාගෙන පැමිණෙති. අඩුවෙන් මුදල් ඇති පිරිසට නේපාලය වැනි රටවල් තිබේ. ජවිපෙට, පෙරටුගාමින්ට හෝ අන්තරයට එය ගැටලුවක් නොවේ. ගැටලුව සයිටම්ය. ඉන් අදහස් වන්නේ විදෙස් උපාධිවලටත් එරෙහි වියයුතු බව නොව, යථාර්ථය පිළිගෙන පෞද්ගලික විශ්වවිද්‍යාලවල පැවැත්මට ඉඩ දිය යුතු බවයි. එවිට එක් අතකින් විදේශ විනිමය වෙනත් රටවලට වියදම් කිරීම නතර කළ හැකි සේම විදෙස් සිසුනට අධ්‍යාපනය ලබා දීමෙන් ආදායමක් උපයන්නටද පුළුවන.

සයිටම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ යෝජනාවලියේ එන ලාභ නොලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම. මුදල් නොමැති සිසුන් සඳහා මූල්‍ය ආයතන හා ණය මුදල් ලබාදීම වැනි යෝජනා පිළිගත යුත්තේ සාධනීය කරුණු වශයෙනි. එමගින් ඇති හැකි අයට පමණක් මෙතෙක් අවස්ථාව සැලසී තිබුණු පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ දොරටු නැති බැරි අයටත් විවරවනු ඇත.

පාසල් අධ්‍යාපනය රජයේ විශ්වවිද්‍යාල සඳහා වුව මෙවැනි වැඩපිළිවෙලකට යාම පවතින තත්ත්වයන් තුළ අසාධාරණ නැත. ඇති හැකි අයගෙන් යම් මුදලක් අයකිරීමත් නැති බැරි අයට නොමිලේ අධ්‍යාපනයත් වැනි සංකල්පයකට යතහොත් පාසල් පද්ධතියේ සහ රජයේ සරසවිවල අඩුපාඩු බොහොමයක් ආණඩුවට බරක් නොවී ජනතාව මත බදු නොපටවා විසඳාගත හැකි වනු ඇත.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *