එදා ම හඳුනා නොගන්නා කොවිඩ් මරණ නිවේදනය නොකරන්න තීරණයක් ; පරණ මරණ එකතු වුණා ම ගණන වැඩියෙන් පෙනෙනවා ලු !

කොවිඩ් නිසා සිදුවන මරණ එදා ම තහවුරු නොවන්නේ නම් එම මරණ නිවේදනය නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට ඇති බව අද නිවේදනය කෙරිණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද මාධ්‍යය අමතා අද ප්‍රකාශ කළේ අද සිට නිවේදනය කරනු ලබන්නේ කොවිඩ් නිසා මියගිය බව පැය 48 ක් හෝ පැය 24 ක් හෝ ඇතුළත තහවුරු කර ගන්නා කොවිඩ් මරණ පමණක් බව යි.

මෙතෙක් කොවිඩ් මරණ නිවේදනය කරන විට දින ගණනකට පෙර මියගිය කොවිඩ් රෝගීන්ගේ තහවුරු කරගත් මරණ ද වාර්තාවට ඇතුළත් කළ බව ඒ මහතා ප්‍රකාශ කළේ ය.

මෙලෙස දින ගණනකට හෝ සති ගණනකට පෙර මියගිය ද තහවුරු කර ගැනීමට ප්‍රමාද වූ මරණ ඇතුළත් කිරීම නිසා දිනක සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ අගයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කියයි.

සෞඛ්‍ය සේවයේ ආරංචි මාර්ග කියන්නේ බොහෝ විට මරණ තහවුරු වන්නේ කොවිඩ් මරණ ලෙස සලක ආදාහනය කිරීමෙන් ද පසුව බව යි. මරණයක් තහවුරු කරගැනීම එක දිනක් තුළ කළ හැකි වුව ද, මේ වනවිට පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම ද විශාල ලෙස ප්‍රමාද වන බව කියති.

නව ක්‍රමය යටතේ එදින තහවුරු කරගන්න කොවිඩ් මරණ පමණක් නිවේදනය කළ විට එදින සිදුවන සැබෑ මරණ සංඛ්‍යාව දැනගන්නට නොලැබෙන බව කියති . පසුගිය කාලයේ එදින කිසිදු මරණයක් වාර්තා වී නැති බව කී දිනවල සිදු වූ මර 13, 15, 20 වැනි සංඛ්‍යා පසුව වාර්තා වී ඇත. එමෙන් ම එක් දිනක සිදු වූ මරණ පසුව දින ගණනාවක් තිස්සේ ද වාර්තා වී ඇත.

අද සිට එදින තහවුරු කරගත් මරණ පමණක් වාර්තා කළ විට මෙරට කොවිඩ් නිසා සිදුවන සැබෑ මරණ සංඛ්‍යාව මහජනයාට දැනගන්නට නොලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *