ජනාධිපති නියෝග කළාට කාබනික පොහොර ගෙන්වන්න බැහැ – ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියති

ඊළඟ කන්නය සඳහා වහා ම කාබනික පොහොර ගෙන්නන්නයි ජනාධිපතිතුමා නියෝග කළ පමණින් හෝ කැබිනට් මණ්ඩලය තීරණය කළ පමණින් හෝ  පොහොර ගෙන්වීම කළ නොහැකි බවත්, ඒ සඳහා ආයතන ගණනාවක අවසරය අවශ්‍ය වන බවත්, එයට කරන ප්‍රමිති පරීක්ෂාවන්ට විශාල කාලයක් ගතවනු ඇති බවත් ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර්ග කියයි.

කාබනික පොහොර ඇතුළු කුමන හෝ ආනයනයක් සඳහා ආනයන අපනයන පාලක වරයාගේ අවසරය අවශ්‍ය ය. එම අවසරය කුමන හෝ ආනයනයකට ලබා දෙන්නේ එයට අදාළ නියාමන අධිකාරීන්ගේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව ය. එබඳු නියාමන අධිකාරීන් තිහක් පමණ ශ්‍රී ලංකාවේ ඇති අතර ඉන් දහයක් පමණ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධය. එම ආයතනවල අවසරය ලබා ගැනීමට නම් අදාළ ආනයනයෙන් මෙරට කෘෂිකර්මයට අහිතකර බලපෑම් ඇති නොවන බව පර්යේෂණ මගින් තහවුරු කළ යුතු වෙයි.

මේ අනුව කාබනික පොහොර මෙරටට ගෙන්වන්නේ නම් ශ්‍රී ලංකා පලිබෝධනාෂක රෙජිස්ට්‍රාර් වරයාගේ කාර්යාලය , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇති බෝග නිරෝධායන ආයතනවල අනුමැතිය ආදී අවසර රැසක් ලබා ගත යුතුව ඇත.

ඒ අනුව එබඳු පරීක්ෂාවක දී , ගෙන්වන පොහොරවල රසායනික සංයුතිය, ඒවායේ විෂ රසායනික තිබේ ද යන්න, ඒ සමග කිසියම් රෝග, කෘමි හෝ ආක්‍රමණික ශාක මෙරටට ඇතුළු විය හැකිද යන්න ආදී බොහෝ කරුණු පරීක්ෂාවට ලක් කළ යුතු වෙයි.

සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ ඒ සඳහා කුමන හෝ කෘෂිකාර්මික යෙදවුමක් රජයේ ගොවිපල තුළ කන්න තුන හතරක් පරීක්ෂාවට ලක් කිරීම යි.

මෙබඳු දැඩි නීති මෙරට ක්‍රියාත්මක කොට ඇත්තේ කෘෂිකර්මයේ ආරක්ෂාව සඳහා මෙන් ම, වස විස ආහාරවලට එක්වීම වැලැක්වීම සඳහා ය.

මෙම නීති කඩා කාබනික පොහොර ගෙන්විය නොහැකි බවත්, එසේ කරන්නේ නම් එය තවත් විනාශයක් කැඳවා ගැනීමක් විය හැකි බවත්, ක්ෂේත්‍රයේ අපේ ආරංචි මාර්ග කියයි.

මෙරට ඇති වූ පොල් හිගයට පිළියම් ලෙස පොල් ආනයනයට පසුගිය රජය කළ උත්සාහයට ඉඩ නොලැබුණේ ද මෙම දැඩි නීති නිසා බව කියති. අවසානයේ ඉඩ ලැබුණේ කැබලි කළ පොල් මද ගෙන්වීමට පමණකි.

චීනයේ කොවිශිල්ඩ් එන්නත ගෙන් වූ රජයට එය භාවිතයට අවසර ලැබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද අනුමත වූ පසුව ය.

මේ නිසා වහා ම කාබනික පොහොර ගෙන්වීම ද, ජනාධිපතිගේ ක්‍රියාත්මක කළ නොහැකි නියෝගයක් වනු ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *