කැනඩා යන්න බෑ කියූ හිටපු නීතිපති දප්පුල උසාවි යන්න සුදානමින් !

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප කළ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා රජයෙන් වෙනත් තනතුරක් ලබා නොදීම නිසා නීතිඥයකු ලෙස අධිකරණ කටයුතුවල යෙදීමට සුදානමින් සිටින බව වාර්තා වෙයි.

මේ මාසයේ විශ්‍රාම ගිය ඔහුට කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය ලබා දීමට ජනාධිපතිතුමා කටයුතු කළේ නීතිපතිවරයා විශ්‍රාම යාමට ද පෙර ය. කෙසේ වෙතත්, එම තනතුර භාර නොගත් දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශ කළේ මෙරට රැඳී සිටිමින් සේවය කිරීමට ඔහුට අවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, ඒ සඳහා සුදුසු වෙනත් තනතුරක් ඔහුට ලබා දීමට ජනාධිපතිතුමා හෝ ආණ්ඩුව මෙතෙක් කටයුතු කොට නැත. ලිවේරා මහතාට සේවා දිගුවක් ද හිමි නොවී ය.

නීතිපති තනතුරින් සමු ගැනීමට පෙර දප්පුල ලිවේරා මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා මුණගැසී සමු ගත්තේ ය. එම අවස්ථාවල දී ද ඔහුට වෙනත් තනතුරක් දීමක් ගැන අදහස් ඉදිරිපත් වී නැති බව කියති.

මෙම තත්ත්වය තුළ හිටපු නීතිපති තුමා නීතිඥයකු ලෙස අධිකරණ කටයුතුවල යෙදීමට සුදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *