පෝර්ට් සිටි ‌ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට පාර්ලිමේන්තුවට

 

අනිද්දා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්  හෙට දින (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

පනතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල ද යන්න මෙන් ම , පනතට සිදු කළ හැකි සංශෝධන ආදිය  පිළිබඳව ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය එමගින් ප්‍රකශ වනු ඇත.

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 18 වනදා සිට මැයි 20 වනදා දක්වා දින 03ක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත මැයි 19 සහ 20 යන දෙදින තුළ දී විවාදයට ගැනීමට තීරණය වූ බවද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට එහිදී තීරණය වූ බවද පාර්ලිමේන්තුවේ මහ ලේකම් දසනායක මහතා කියයි.

ඒ අනුව මැයි 19 වැනිදා පෙ.ව 10.00 සිට පස්වරු 5.30 දක්වාත් මැයි 20 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වාත් ඉහත විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

මැයි 19 සහ 20 යන දින දෙක තුළ දී මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් නොකෙරෙන බවද මහ ‍ලේකම්වරයා කීය.

මෙම සතියේ පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම් දිනය වන මැයි 18 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී මුදල් පනත යටතේ රෙගුලාසියක්, මුදල් පනත යටතේ වන නියෝග 02ක්, වරාය සහ ගුවන්‍ තොටුපොළ සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් 08 ක්, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් 02ක්, විදේශ විනිමය පනත යටතේ වන නියෝගයක් විවාදයට ගැනීමට නියමිත ය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *