ආයුධ පෙන්නන්න වෙළේ සුදාව රැගෙන යාම තහනම් කරන අධිකරණ නියෝගයක් !

මරණ දඩුවම් නියමව සිටින ‘වෙළේ සුදා’ නොහොත් ගම්පොල විදානේලාගේ සමන්ත කුමාර නැමැත්තා ලබන 24 වැනිදා තෙක් බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළකාලමින් අභියාචනාධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට අද (17) නියෝගයක් නිකුත් කළ බව වාර්තා වෙයි.
අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින සිය පුතා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බැවින් ඔහු පොලිස් භාරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෙළේ සුදා නැමැත්තා ගේ මව වන ආර්.ජී. මාලනී නමැති පෙත්සම්කාරිය ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේය.
පෙත්සම්කාරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දැක වූ නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් ප්රකාශ කළේ මෙබඳු රැඳවියන් විවිධ හේතු මත වෙනත් සථානවලට රැගෙන ගොස් මරා දැමීමේ ප්රවතාවක් ඇති බව සහ තම සේවා දායකගේ පුත්රයා ද එලෙස මරණයට පත්වීමට ඉඩ ඇති බවයි. එබැවින්, තම පුත්රයා කවර හේතුවක් නිසාවත් බන්ධනාගාරයෙන් පීටතට රැගෙන නොයන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් කාරිය අධිකරණයෙන් ඉල්ලා සිටින බව රොමේෂ් ද සිල්වා මහතා ප්රකාශ කළේ ය.
මෙහි දී අතුරු තහනම් නියෝගය පිලිබඳ වැඩිදුර විභාගය කල්තැබූ අභියාචනාධිකරණය එතෙක් වලංගු වන පරිදි ඉහත කී නියෝගය නිකුත් කොට ඇත.
පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුණ ඔබේසේකර හා රුවන් ප්රනාන්දු යන මහත්වරුන් හමුවේදී අද (17) කැඳවීය.
පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 24 වැනදා යළි කැඳවීමට තීරණය කළ විනිසුරු මඩුල්ල, එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේ ය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
