සජිත්ගේ කිරින්දේ ප්‍රහාරය පාටලීට ලු ; පාටලීගෙන් නුවර එළියේ දී ප්‍රතිචාර !

සමගි ජන බලවේගය තුළ තමන්ගේ කකුලෙන් අදින පිරිසක් සිටින බවට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රහාර එල්ල කළේ පාටලී චම්පික රණවක මහතාට බවත් , එයට නුවර එළියේ පැවති රැස්වීමක දී රණවක මහතා ප්‍රතිචාර දක්වා ඇති බවත් වාර්තා වෙයි.

හම්බන්තොට කිරින්දේ පැවති ජංගම සේවයේ දී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ පක්ෂය තුළ තම කකුලෙන් අදින පිරිසක් සිටින බව සහ තමාව නායකත්වයෙන් ඉවත් කිරීමට ඒ කිසිවෙකුට හැකියාවක් නොලැබෙන බව යි. වෙනත් දේශපාලන අරමුණු ඇති අය පක්ෂයෙන් ඉවත් විය යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ප්‍රකාශයේ ඉලක්කය වුයේ පාටලී චම්පික රණවක මහතාත්, 43 සේනාංකය ලෙස ඔහු වටා ගොනු වී සිටින පිරිස බවත්, සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මෙයට පිළිතුරක් දෙමින් පාටලී චම්පික රණවක මහතා නුවර එළියේ පැවතී රැළියක දී ප්‍රකාශ කොට ඇත්තේ, 43 සේනාංකය යනු දේශපාලන පක්ෂයක් නොව දේශපාලන අරමුණක් සහිත බලවේගයක් බව යි. තමන්ගේ එම වැඩ පිළිවෙළ කිසිදු තර්ජනයක් මගින් නැවැත්විය නොහැකි බව ද රණවක මහතා ප්‍රකාශ කොට ඇත.

සමගි ජන බලවේගයේ නව නිලධාරීන් පත් කරන විට එහි නියෝජ්‍ය නායක ලෙස චම්පික රණවක මහතා පත් කිරීමට යෝජනා වී තිබුණ ද එය සිදු නොවී ය. නියෝජය නායකයකු ලෙස කිසිවකු පත් කරනු නොලැබී ය.

එජාප නියෝජ්‍ය නායක ලෙස සජිත් පත්කිරීමෙන් ලැබුණු අත්දැකීම් මත සජිත් මෙම තීරණය ගත් බව කියති.

එජාපයේ රනිල් වික්‍රමසිංහ නායකත්වයට එරෙහි වෙමින් සජිත් ගෙන ඒමට කැප වී ක්‍රියා කළ ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරතන ඇතුළු කණ්ඩායම ද මේ වනවිට සජිත්ගේ නායකත්වය දුර්වල බව කියමින් චම්පික රණවක මහතාට සහය පළ කරමින් ක්‍රියාත්මක වී සිටිති.

මේ අතර සජබ යේ තවත් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාපය සමග සම්බන්ධතා ගොඩ නගා ගනිමින් සිටින බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *