පක්ෂය ඇතුළේ සිට තම කකුලෙන් අදින පිරිසක් ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්

සමගි ජන බලවේගය පක්ෂය තුළ සිටිමින් තමන්ගේ කකුලෙන් අදින පිරිසක් සිටින බව සජබ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද හම්බන්තොට කිරින්දේ පැවතී විපක්ෂ නායක ජංගම සේවයේ දී ප්‍රකාශ කොට ඇත.
එම පිරිස වහා ම පක්ෂයෙන් ඉවත්විය යුතු බව ද ප්‍රේමදාස මහතා එහි දී ප්‍රකාශ කොට තිබේ.
එමෙන් ම සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ යහපාලන ආණ්ඩුව තුළ ද තමන්ගේ කකුලෙන් ඇද්ද පිරිසක් සිටි බව සහ එහි දී තමන්ට සම්පුර්ණ සහය ලබා දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව යි.
සමගි ජන බලවේගය තුළ සජිත්ගේ නායකත්වය ගැන ප්‍රශ්න මතු වී ඇති බව පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කළ අතර රන්ජන් රාමනායක මහතා සිරගත කොට ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ විට, ඔහු වෙනුවෙන් සටන් නොකොට, වහා ම එම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට අජිත් මාන්නප්පෙරුම මහතාට උපදෙස් දීම නිසා ගැටුම් උත්සන්න වී ඇති බව ද වාර්තා වී ය.
එමෙන් ම , සජිත් විපක්ෂ නායක ධුරයේ වැඩ හරි ආකාරයෙන් ඉටු නොකරන බවට ද චෝදනා එල්ල වී ඇති බව ද වාර්තා වී ය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ඉහත ප්‍රකාශයෙන් එම මාධ්‍ය වාර්තා සත්‍ය බව තහවුරු වෙයි.
