මහ බැංකුවේ තිස් අවුරුදු බැඳුම්කර නිකුතුව: ඇත්ත අලාභය කුමක් ද?- වෙරිටේ රිසර්ච් විග්‍රහයකි.

     2015 පෙරවාරි 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර තිහක් සඳහා වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම ඉක්මනින්ම විවාදාත්මක ප්‍රශ්නයක් බවට පත් විය. එයට ප්‍රධාන හේතුව වූයේ බිලියනයක පමණ බැඳුම්කර පමණක් භාර ගනු ඇතැයි වෙළෙඳ පොළ අපේක්‍ෂා කළද මහ බැංකුව බිලියන දහයක් සඳහා බැඳුම්කර ලබාගැනීමට කටයුතු කිරීමයි. එලෙස වැඩිපුර ගැනීම නිසා බැඳුම්කර සඳහා ගෙවන පොලී අනුපාතයද ඉහළ ගියේය. මහ බැංකුව සිදුකළ මෙම බලාපොරොත්තු රහිත ක්‍රියාව පිළිබඳ මහජන විරෝ්ධය නැගීමට කරුණු දෙකක් හේතුවිය. පළමුවැන්න ඉහළ පොලී අනුපාතයකට වැඩි බැඳුම්කර ප්‍රමාණයක් මිලදී ගැනීමයි. දෙවැන්න නම් මෙම නිකුතුවේ වැඩිම වාසි හිමිවූයේ වර්තමාන මහ බැංකු අධිපතිවරයාට කිට්ටු සම්බන්ධයක් ඇති සමාගමකට වීමයි. එමගින් මෙම කොටස් ලංසු ගැන මහ බැංකු අධිපතිවරයා ගන්නා ඕනෑම තීරණයක් සම්බන්ධයෙන් ලැදියාවන්ගේ ගැටුමක් පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙයි. කාලයක් තිස්සේ විශාල ලෙස පැතිර ඇති ලැදියාවන්ගේ ගැටුම් පිලිබඳ ප්‍රශ්න කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන හා නිලධාරී ව්‍යුහයන්ට ඇත්තේ ඉතා දුර්වල නීති හා පාලනයන්ය.

      ප්‍රශ්නයේ පළමුවෙනි අංගය එනම් ඉහළ පොලී අනුපාතයක් යටතේ වැඩි ප්‍රමාණයක් ලබාගැනීම සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා රාශියක් පළවූ අතර ඒවායින් උත්සහ දරා තිබුණේ මෙම ඉහළ පොලිය මගින් සිදුවු පාඩුව ගණනය කිරීමටය. මහ බැංකුවේ හිටපු අධිපතිවරයා ඇතුළු බොහෝ දෙනා මේ ගැන ප්‍රශ්න කිරීමත්, අදහස් ඉදිරිපත් කිරීමත් සුබවාදී වර්ධනයකි. අවාසනාවකට මෙන් මෙතෙක් පළවූ ලිපිවල දුර්වලතා තුනක එකතුවක් දක්නට ලැබෙයි. එනම් (1) මිල ගණන් සැසඳීමේදී කාලය අනුව වෙනස්වීම ගණනය කිරීමේ වරද. (2) පදනම් පොලිය සම්බන්ධයෙන් නිවැරදි නොවන සඳහන් කිරීම් හා (3) වෙළෙඳපොළ බලපෑම හා ‘අලාභය’ සම්බන්ධයෙන් වැරදි ලෙස අනුමානකිරීම ආදී වශයෙනි.

කාලය අනුව මුදලේ වටිනාකම ගණන් හැදීමේ වරද

මෙම වරද මුල් වරට පෙන්වා දෙන ලද්දේ දැන් රුසියාවේ මොස්කව් නුවර ජාතික පර්යේෂණ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උසස් පාසලේ මහාචාර්ය පදවිය දරණ ආචාර්ය උදාර පීරිස් ශ්‍රී ලංකා එෆ්.ටී. පුවත් පතෙහි පළකළ ලිපියක් මගිනි. වරද සිදුවී තිබෙන්නේ අනාගතයේ මුදල් වර්තමාන මුදල් හා සැසඳීමේ වෙනස තේරුම් නොගෙන ඇපල් හා දොඩම් එකතු කරන ලෙස කිරීමට යාම නිසාය. අලාභයක් ගණනය කරන විට එකතුකරන මිල ගණන් ඒ ඒ කාලය අනුව ගණන් බලා සියලූ මුදල් වටිනාකම් නිශ්චිත මොහොතක් සඳහා ගණන් බලා එකතුකොට එම මොහොතේ පාඩුව ලෙස දැක්වීම අවශ්‍යය. යමෙකුට අද රුපියල් 1000 ක් අහිමි වන්නේ නම් හා පොලී අනුපාතය සියයට 10.4 ක් නම් එය වර්ෂ හතකට පසුව රුපියල් 2000 ක් අහිමිවීමට හෝ වසර 14 කට පසුව රුපියල් 4000 ක් අහිමිවීමකට සමානය. (වාර්ෂික පොලී අනුපාතය සියයට 10.4 ක් ලෙස ගණන් බැලූ විට සෑම වසර හතකටම වරක් මුදල් ප්‍රමාණය දෙගුණ වෙයි. එබැවින් අද රුපියල් 1000 ක් හා වසර 14 කට පසු රුපියල් 4000 ක් අලාභ වන්නේනම් එය අද රුපියල් 5000 ක් අලාභ වීමකට සමාන වන්නේ නැත. එය සමාන වන්නේ අද රුපියල් 2000 ක අලාභයක් සිදුවීමටය. කාලය අනුව වටිනාකම යන්න මුදල් ගණනය කිරීම්වල මූලික හා ප්‍රධාන මූල ධර්මයක් වන නමුත් ආචාර්ය පීරිස්ගේ ලිපියේ හැර අනෙක් වාර්තාවලදී මේ බව නොතකා හැර ඇත. අනාගතයේ ගෙවීමට ඇති මුදල් වල වර්තමාන වටිනාකම සැලකිල්ලට නොගෙන වසර විස්සකදී තිහකදී ගෙවන්න තිබෙන මුදල් මේ වසරේ ගෙවීමට ඇති මුදල් සමග එකතුකොට ගණන් බැලීමෙන් වැරදි ලෙස ගණන් බැලීම සිදුව තිබේ.

පදනම් පොලිය ගැන වැරදි අනුමාන

සියලූම ගණන් බැලීම් සිදුකොට තිබෙන්නේ වසර තිහක බැඳුම්කර නිකුතුවේ දී වැඩි වූ පොලිය යම් පදනම් පොලියකට වැඩි වීම නිසා ගෙවන්නට වන වැඩි මිල වශයෙනි. මෙහිදී පදනම් පොලිය ගණන් ගන්නේ බැඳුම්කර ප්‍රමාණය දහ ගුණයකින් වැඩි නොකළේ නම් ගෙවන්නට වන පොලිය අනුවය. මේ සඳහා බොහෝ ලේඛකයෝ විවිධ පොලී අනුපාත යොදාගෙන ඇති අතර සියල්ල සියයට දහයට වඩා අඩුය. ඇතැම් ලේඛකයන් භාවිතා කර ඇත්තේ බැඳුම්කර නිකුතුවට පෙර මහ බැංකුව ලබාදුන් සංඥාය. අතීතයේ දී මේ සමාන බැඳුම්කර සඳහා කළ සමහර ගෙවීම් සමහර ලේඛකයන් යොදාගෙන ඇති අතර තවත් සමහරෙක් යොදාගෙන තිබෙන්නේ ද්විතීයක වෙළෙඳපොළේ ගනු දෙනු හා පොලී අනුපාත ආදියයි.

    මේ සම්බන්ධ යෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ වාර්තාව අන්තර්ජාලය මගින් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර (එය තොරතුරු හෙළිවීමේ යහපත් වර්ධනයකි) එමගින් ලබාගත් ඉල්ලූම් ගැන තොරතුරු ලැබී ඇති අතර මේ වන විට බොහෝ දෙනෙකු ඒවා කියවා හමාරය. එම වාර්තාවෙන් පෙනෙන්නේ ද්විතියික වෙළඳ පොළ හා බැංකු විසින් කලින් නිකුත් කළ ණය සඳහා පොලිය ආදිය මත පදනම්ව මහ බැංකුව සංඥා කළ පහළ පොලී අනුපාතයට ණය ලබාදීමට වෙළෙඳපොළ ඉදිරිපත් නොවූ බවයි. ඉල්ලූම් සමානුපාත ලෙස නොගන්නේ නම් මිලියන එකක් ගැනීමේදී ඇත්තටම වන්නේ බිලියන 1. 308 ක් ලබා ගැනීමය. (ඊ.පී.එෆ්. හි බිලියන 0.5 ම ලබාගත්විට) එවිට සමාන්‍ය පොලී අනුපාතය වන්නේ සියයට 10.456 කි.
මාධ්‍යයට හෙළිදරව් වී ඇත් කෝප් කමිටුවේ කෙටුපත් වාර්තාවේ සඳහන් වන්නේ බිලියන 2608 ක් ලබාගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිර්දේශ කළ බවයි. මෙම නිර්දේශයෙන් එතරම් ගැටලූවක් මතුවීමට ඉඩක් නැත්තේ මෙයින් බිලියන 2358 ක්ම ලැබෙන්නේ ආණ්ඩුවේම ආයතනවලින් වීම නිසාය. එයින් බිලියන 1.5 ක් අර්ථසාධක අරමුදලෙන් ලැබෙන අතර ඉතිරිය ලැබෙන්නේ රාජ්‍ය බැංකුවලිනි. මහබැංකු අධිපතිවරායාට ලැදියාවන්ගේ ගැටුමක් ඇති සැකකටයුතු ඉල්ලූම්කරු වන පර්පර්ෂුවල් ටේ‍රසරිස් සමාගමට (සංඛේතාත්මකව හෝ) කිසිවක් ලැබෙන්නේ නැත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිර්දේශය අනුව දෙගුණයකට වැඩි ඉල්ලූම් ප්‍රමාණයක් ලබාගන්නා බව නිවේදනය කළද (එය හොඳ ක්‍රියාවක් නොවේ) දෙතුන් ගුණයකින් වැඩි කිරීමේ එබඳු තීරණ ඇතීතයේදීද ගෙන ඇති අතර (බොහෝවිට කෙටිකාලින බැඳුම්කර සඳහා) එමගින් වෙළඳ පොළෙහි තැති ගැනීමක් ඇතිවන්නේද නැත. රාජ්‍ය ණය දෙපාර්තf්න්තුවේ නිර්දේශය අනුව බිලියන 2.608 ක් ලබා ගන්නේ නම් පොලී අනුපාතය වන්නේ සියයට 10.724 කි.
ඒ අනුව පදනම් පොලිය කුමක්ද යන්න දැනගැනීමට ලැබී තිබෙන අතර කිසිදු අනුමානකිරීමක් අවශ්‍ය වන්නේ නැත. එහි පදනම එවන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අනුමත කළ වැඩි ඉල්ලූම් ප්‍රමාණයක් ලබාගැනීමේ දී එහි පොලී ප්‍රමාණය යි. මෙතෙක් ප්‍රසිද්ධියට පත්කොට ඇති ගණනය කිරීම් කිසිවකදී මෙම දත්තය යොදාගෙන නැති අතර ඒ නිසාම උචිත පදනම් පොලිය අනුව ගණනය කිරීම් සිදුවී නැත.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මුල් නිර්දේශයෙන් වෙනස්වීමේ පාඩුව

     අවසානයේ වැඩිපුර ගත් බිලියන 10.058 ලබාගත්තේ සියයට 11.727 ක පොලී අනුපාතයකටය. එබැවින් අලාභය ගණනය කළ යුතු වන්නේ මෙම පොලී අනුපාතය හා බිලියන 2608 ක් ලබාගැනීමේදී පොලී අනුපාතය අතර වෙනස යොදාගනිමින්ය. එබැවින් වැඩි බැඳුම්කර ප්‍රමාණයක් ගැනීමේ දී වැඩිපුර ගෙවීමට සිදුවන පොලිය සියයට 1 කි. (හරියටම නම් සියයට 1.003 කි.) එබැවින් බිලියන 10.038 ක් අඩුපොලිය වෙනුවට වැඩි පොලියට ලබා ගැනීමෙන් තිස් වසරකදී කරන ගෙවීම්වල අද වටිනාකම සමානවන්නේ බිලියන 0.9 කටය. (හරියටම නම් රුපියල් 896,430,491 කි) මෙය විශාල අලාභයකි. එසේ වුවද මෙය මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වැනි අය ගණන් බලා ඇති බිලියන 8.7 ක වැරදි සංඛ්‍යාවෙන් ඉතා කුඩා ප්‍රමාණයකි. මෙහි බිලියන 7.8 ක වෙනසෙන් බිලයන 5.7 ක් වැරදි ගණන් බැලීම නිසා වන අතර බිලියන 2.1 ක් වැරදි පදනම් පොලී ප්‍රමාණ අනුමාන කිරීමෙන් වැඩිපුර ලැබී ඇත.

වෙළෙඳපොළ බලපෑම/පාඩුව ගැන වැරදි උපකල්පන

     බොහෝ ලේඛකයන් අලාභය ලෙස වැඩි වශයෙන් ගණන් බලා ඇත්තේ වසර තිහේ බැඳුම්කර වලට ගෙවන ඉහළ පොලිය නොව ඉන්පසුව වෙළෙඳ පොලේ අලෙවිවන බැඳුම්කර සඳහා ඉහළ පොලියක් ගෙවීම මගින් සිදුවන අලාභය ය. මෙම පොලී වැඩිවීම වසර තිහේ බැඳුම්කර නිකුතුව නිසා සිදුවන බවට උපකල්පනය කෙරෙයි. පසුව කළ විකිණීම් වලදී ඉහළ පොලියක් ගෙවීමට සිදුවූවේ වසර තිහේ බැඳුම්කර ලබා ගැනීමේදී සිදු වූ අලාභයේ බලපෑම මත බව උපකල්පනය කොට ඇත. කරුණු තුනක් නිසා මෙය වැරදි සහගතය. (ආචාර්ය පීරිස් ද මේබව පෙන්වා දී තිබේ.) (අ) ඉතිරිකිරීම් හා පරිභෝජනය මත බලපෑම් කිරීමට, ද්‍රවශීලතා ප්‍රශ්න විසඳීමට හා විනිමය අනුපාත පවත්වාගෙන යෑමට ආදී විවිධ අවශ්‍යතා සඳහා ආණ්ඩුව විසින් පොලී අනුපාත කළමනාකරණය කරන නිසා රජයේ පොලී අනුපාත ඉහළ පහළ යෑම රජයට සිදුවන පාඩුවක් හෝ ලාභයක් ලෙස සරලව හැඳින්විය නොහැකිය. (ආ) පොලී අනුපාත යනු ණය ලබා ගැනීමේදී ගෙවන මිල වන අතර එය ඉල්ලූම හා සැපයුම අනුව වෙනස්වෙයි. ණය ගැනීමේ ඉල්ලූම වැඩිවන විට එහි මිලද (පොලී අනුපාත) ඉහළ යන අතර එබඳු වෙනස්කම් මගින්ම එය විවිධාකාරයෙන් තුලනය වන අකාරද ඇත. උදාහරණයක් වශයෙන් ජාත්‍යන්තරයෙන් ණය ගැනීම වෙනුවට දේශීය ණය ගැනීමෙන් (2015 මුල්භාගයේ සිදුවූ පරිදි) දේශීය ණය සඳහා ආණ්ඩුවේ ඉල්ලූම ඉහළ යන අතර එමගින් පොලී අනුපාතද ඉහළ යන නමුත් ඒ සමගම විදේශීය ණය නිසා අනාගතයේ ඇතිවිය හැකි පීඩා වලින් ආරක්‍ෂා වීමක්ද සිදුවෙයි. (ඈ) පෞද්ගලික අංශයේ ණය ගැනීම් ඉහළ හෑම නිසා බැංකුවල ද්‍රවශීලතාව අඩුවීම (2015 දී දක්නට ලැබුණු තවත් වර්ධනයකි) මගින් පොලී අනුපාත ඉහළ යෑමට බලපෑමක් ඇතිවීම වැනි දේශීය ආර්ථික සාධකද සැලකිල්ලට ගත යුතුය. වසර තිහක් සඳහා වූ බැඳුම්කර නිකුතුවේදී ලබාගත් මුදල දස ගුනයකින් වැඩි කිරීම නිසා වෙළෙඳපොළ පුදුමයට පත් වූ අතර බලාපොරෝත්තුව සිටි මට්ටමට වඩා සියයට එකකින් පොලිය ඉහළ යෑමක් සිදුවිය. එසේම එහි බලපෑම නිසා ඊට පසුව මුලින් සිදු වූ ණය ගැනීම් සඳහා පොලිය නියම වීමේදී ඉහළ යෑමක් සිදු වූවා වීමට ඉඩ ඇත. එසේ වුව ද ණය සඳහා පොලිය වැඩිවීම තේරුම් කිරීම සඳහා එම කරුණු යොදාගැනීම කළ නොහැකිය. දශ ගුණයකින් වැඩි නොකළද වෙළෙඳ පොළ ලංසු තැබීම මගින්ම තිස් අවුරුදු බැඳුම්කර නිකුතුවේදී පොලිය ඉහළ යාමේ සංඥාවක් ලැබී ඇත.) ඒ කුමක් වුවත් පොලිය මත වූ බලපෑම ඉතා සීමිත වන්නේ පොලිය තිබිය යුතු මට්ටම පිලිබඳව තමන්ගේම අපේක්‍ෂාවන්ට නොගැළපෙන්නේ නම් ලංසු ප්‍රතික්‍ෂේප කිරීමේ අයිතිය ආණ්ඩුව සතුවීමත් ඉහළ පොලී මට්ටමකදී ප්‍රධාන ගැනුම්කරුවන් විය හැකි ආර්ථසාධක අරමුදල හා රාජ්‍ය බංකු වැනි විශාල සිරකරගත් අරමුදල් රජය සතුවීමත් නිසාය. එමෙන්ම රජය තමන්ගේම අරමුදල් වලින් (හෝ අර්ථසාධක අරමුදලින්) ඉහළ පොලියට ණය ගත් විට එය ‘අලාභයක්’ ලෙස විස්තර කරීම නිවැරදි නැත.

වැඩිම හානිය විශ්වාසය බිඳ වැටීමයි.

    රජයට වැඩිපුර මුදල් අවශ්‍ය නම් මිල ගණන් හෙළිදරව්වීමේ අතිරේඛ ක්‍රියාවලියක් සහිත වන හා කලාතුරකින් වෙන්දේසිකරණ තිස් අවුරුදු බැඳුම්කර මගින් ගන්නා ණය ප්‍රමාණය ඉහළ දැමීම උචිත ක්‍රියාමාර්ගය නොවේ. ස්ථාවරත්වය හා විශ්වාසය ගොඩනැගීම මත බැංකුවක ප්‍රධාන කාර්යයකි. තිස් අවුරුදු බැඳුම්කර නිකුතුවෙන් ගත් ප්‍රමානය ඉහළ දමා වෙළෙඳ පොළේ තැතිගැන්මක් හා අවිනිශ්චිතතාවක් ඇති කිරීම වගකීම් සහිත ක්‍රියාවක් නොවේ.

     මෙ මගින් ඇති වූ මුල්‍යමය අලාභය පිලිබඳ ගණනය කිරීම් වැරදි සහගත හා විශාල ලෙස අතිශයෝකිතියට නගා ඇති නමුත් විශාලතම හානිය සිදුවූයේ මුදල්මය අලාභයක් වශයෙන් නොවේ. හානිය නම් විශ්වාසය හා පිළිගැනීම බිඳවැටීමයි. ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ විශ්වාසය බිඳ වැටීම කලෙක සිට සිදුවන අතර අලූත් ආණ්ඩුවක් හා මහ බැංකු අධිපතිවරයකු පත්වීම සමග විශ්වාසය යළි ගොඩනගා තහවුරු කිරීමේ අවස්ථාවක් උදාවිය. එසේ වුවද තිස් අවුරුදු බැඳුම්කර නිකුතුවේ දී සිදු වූ විනාශයත් ඒ පිලිබඳ පරීක්‍ෂණයේ හා වගවීමේ දුර්වලතාත් නිසා මහ බැංකුවට අපකීර්තියක් ඇතිවිය.

(කොළඹ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන වෙරිටේ රිසර්ච් ස්වාධීන බුද්ධි මණ්ඩපය ආර්ථික විද්‍යාව, නිතීය, දේශපාලනය හා මාධ්‍යය ක්‍රේෂත්‍රවල ඉහළම මට්ටමේ තීරණ ගන්නා උදවියට උපාය මාර්ගික විශ්ලේසන ලබාදෙන ආයතනයකි. ඔබේ අදහස් අපේක්‍ෂා කරමු. විද්‍යුත් ලිපිනය – publications@veriteresearch.org )

පරිවර්තණය

සී.ජේ. අමරතුංග.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *