පාස්කු ප්‍රහාරයේ වගකීම ISIS ලෙස භාරගන්නැයි දෙවන සහරාන්ට ඇමතුම දුන් තැනැත්තා හෙළිදරව් නොකරන්නේ ඇයි ? – අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි.

පාස්කු ප්‍රහාරයේ වගකීම ISIS ලෙස භාර ගන්නයි සහරාන් නම ඇති දෙවැනි තැනැත්තකුට දුරකථන ඇමතුමක් දුන් අයකු පිළිබඳව පාස්කු පරීක්ෂණ කොමිසමේ සාක්ෂි මගින් කොමිසමට හෙළි කොට ඇතත් , එම තැනැත්තා ගැන පරීක්ෂ කොට ප්‍රහාරයේ පිටුපස සිටි බලවේග හෙළිකර ගැනීමට උත්සහ කොට නැත්තේ ඇයිදැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේ ය.
සහරාන් නම ඇති එම දෙවැනි තැනැත්තා මේ වනවිට අත් අඩංගුවේ සිටින බවත්, ඔහුට ඉහත කී දුරකථන ඇමතුම දුන් තැනැත්තා කවුදැයි පාස්කු ප්‍රහාර පරීක්ෂණ කොමිසමට රහසේ දුන් සාක්ෂි මගින් හෙළිකොට ඇති බවත් , ඒ ඔස්සේ ඉදිරි පරීක්ෂණ සිදු කළේ නම් ප්‍රහාරයේ පිටුපස සිටි බලවේග හෙළිකර ගැනීමට හැකි වීමට ඉඩ තිබු බවත් , අනුර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
ප්‍රහාරයේ වගකීම භාර ගැනීම මුල දී ප්‍රතික්ෂේප කළ ISIS සංවිධානයේ මැලේසියාවේ ප්‍රධානියකු අමතා වගකීම භාර ගැනීමට පොළඹවා ගෙන ඇත්තේ එම සංවිධානයට සම්බන්ධව සිටි මෙම දෙවැනි සහරාන් විසිනි. සහරාන් හසීම් ඇතුළු කණ්ඩායම ප්‍රහාරයට දිවුරුම් දුන් වීඩියෝව ISIS වෙත ලබා දී ඇත්තේ ද ඔහු විසින් ම ය.
එසේ ම , තාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරවීම නො කළ තැනැත්තා එහි සිට යම් අයෙකුට ඇමතුමක් ලබාගත් බව හෙළි වී ඇති නමුත් ඒ ඔස්සේ ද පරීක්ෂණ සිදුකොට නැති බව ද අනුර දිසානායක මහතා පැවසුවේ පාස්කු ප්‍රහාර වාර්තාව සම්බන්ධයෙන් පැවතී පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමිනි.
පාස්කු ප්‍රහාරය ආගමික අන්තවාදයක් මගින් සිදු කළ ද එහි අරමුණ දේශපාලනික බවත් , එය මෙහෙය වූ බලවේගයක් ගැන සැකය බුද්ධි අංශ සහ පොලිසියේ ප්‍රධානීන් විසින් පාස්කු කොමිසමට ප්‍රකාශ කොට ඇතත්, එය හෙළිදරව් කිරීමට පරීක්ෂණ මෙහෙයවීමෙන් පාස්කු කොමිසම වැළකී සිට ඇති බව පෙනීයන්නේ යයි ජවිපෙ නායකයා වැඩිදුරටත් පැවසීය.
