ශ්‍රී ලංකාවට ආර්ථික තහංචි එන්නේ ජිනීවාවලින් නොව බ්‍රසල්ස් නුවරින් ලු !

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් රජය පැරදුන ද , ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමට ඔවුනට හැකියාවක් නැතැයි ආණ්ඩුව කියන කතාවට ප්‍රතිචාර දක්වන ඇතැම් දේශපාලන නිරීක්ෂකයින් කියන්නේ ආණ්ඩුවට ආර්ථික සම්බාධක පැමිණීමට ඉඩ ඇත්තේ ජිනීවා නුවරින් නොව බ්‍රසල්ස් නුවර කේන්ද්‍ර කරගත් යුරෝපා සංගමයෙන් බව යි. ඒ සඳහා වන පළමු අනතුරු ඇඟවීම මේ වනවිටත් රජයට ලබා දී ඇති බව එම විචාරකයෝ කියති.
යුරෝපා සංගමය මෙලෙස විරෝධය ප්‍රකාශ කොට ඇත්තේ එම රටවල භාණ්ඩ ආනයනයට ශ්‍රී ලංකාව පනවා ඇති තහංචි සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ ක්‍රියා මාර්ග ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෙළෙඳ සම්මුතිවලට පටහැනි බව එම රටවල් පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳාමේ දී ශ්‍රී ලංකාවට විශාල වෙළෙඳ වාසියක් හිමිව ඇතත් , ඒ පිළිබඳව තමන්ගේ කිසිදු මැසිවිල්ලක් නැති බවත් , එසේ තිබිය දී යුරෝපයේ භාණ්ඩවලට තහංචි පැනවීම පිළිගත නොහැකි බවත්, යුරෝපා සංගමය රජයට දැනුම් දී තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳාම යනු තමන්ගේ බඩු විකුණන නමුත් අනෙක් අයගේ බදඩු මිල දී නොගැනීම නොවන බව යෝරෝපා සංගමය ප්‍රකාශ කොට ඇත.
ශ්‍රී ලංකාව මෙලෙස තහංචි පනවා ඇත්තේ මෙරට භාණ්ඩ 6800 ක් සඳහා යුරෝපා සංගමයේ ජී එස් පී බදු සහන ද ලබා දී තිබිය දී ය.
ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳ පොළ වන්නේ ද යුරෝපා සංගමය යි.
යුරෝපා භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාව ඒක පාර්ශවිකව පනවා ඇති තහංචි දිගට ම පවත්වාගෙන ගියහොත් යුරෝපා රටවල් එයට ප්‍රතිචාර දැක්විය හැකි බවත්, ඇමෙරිකාව ද එයට එක්වීමට ඉඩ ඇති බවත් නිරීක්ෂකයෝ කියති.
එම ක්‍රියාමාර්ග තනි තනි රටවල් ලෙස ක්‍රියාත්මක කළ හැකි අතර , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ ආරක්ෂක මණ්ඩලයේ හෝ අනුමැතියක් එයට අවශ්‍ය වන්නේ නැත. චීනයට හෝ රුසියාවට හෝ කළ හැක්කක් ද නැත.
එසේ වුවහොත් ශ්‍රී ලංකාවට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි අතර දශ ලක්ෂ ගණනක් ජනයාට රැකියා අහිමි වනු ඇති බව ද කියති.
ශ්‍රී ලංකාවේ ආනයන සීමාකිරීමේ ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක මානව හිමිකම් ප්රශ්නයේ ප්‍රතිවිපාක වලට වඩා බරපතළ විය හැකි බව විචාරකයන්ගේ මතය වී තිබේ.
