මානව හිමිකම් කොමිසමේ ඡන්ද විමසීම හෙට ; රජය ගෞරවය රැක ගැනීමේ සටනක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව ගැන ඉදිරිපත් කොට ඇති යෝජනාව ගැන හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේ දී , මෙම අවසන් අවස්ථාවේ රජය තමන්ගේ ගෞරවය බේරා ගැනීම සඳහා අවසන් උත්සාහයක් දරමින් සිටින බව වාර්තා වෙයි.
මුලින් රජයට සහය පල කළ ඇතැම් රටවල් පවා ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ගේ ප්‍රකාශ සහ මෑත දේශපාලන සිදුවීම් නිසා ඡන්දය නොදෙන තත්ත්වයට පත් වීම නිසා එම තත්ත්වය වළකා ගැනීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද අවසන් මොහොතේ මැදිහත් වූ බව වාර්තා වී ය.
මුස්ලිම් රාජ්‍ය සංවිධානයේ සභාපති යුෂුෆ් ඔතයිමන් මහතා දුරකතනයෙන් ඇමතු ජනාධිපති තුමා මුස්ලිම් රටවල ඡන්ද ස්ථිර ලෙස ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට ඇත.
මේ අතර මුලින් මෙම රජයට සහය පලකළ බහරේනය ද ඡන්දය නොදී සිටීමට ඉඩ ඇති බව වාර්තා වීම නිසා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එරට පාලකයා අමතා කතා කොට ඇත.
ශ්‍රී ලංකා රජයට එරෙහි යෝජනාව ජයගන්නා බව දැන් බොහෝ දුරට පැහැදිලි වී ඇතැයි ද රජයේ දැන් උත්සාහය වී ඇත්තේ එය අන්ත පරාජයක් නොවී ගෞරවනීය පරාජයක් කරගැනීම බව පෙනෙන්නට ඇතැයි ද අපගේ ආරංචි මාර්ග කියයි.
මේ අතර දේශපාලන විචාරක දයාන් ජයතිලක මහතා පසුගිය දා කීවේ මෙය ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් බව කියන්නට ඇතැමුන් උත්සහ කළ ද මෙය එවැන්නක් නොවන බවයි. මෙම යෝජනාවට පදනම් වූ කරුණු බොහොමයක් මෙම රජය පසුගිය වසරකට වැඩි කාලයා තුළ කළ කටයුතු හා සම්බන්ධය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය වැනි කරුණු ගැන කොමිසමේ විවේචන මෙරට ජනතාවගේ ද විශාල පිරිසක් ඉදිරිපත් කළ විවේචන සමග සමපාත වන බව ජයතිලක මහතා පෙන්වා දෙයි.
එමෙන් ම තුන්වන ලෝකයේ රටවල් බහුතරයක් මෙම යෝජනාවට සහය පලකොට තිබීම ද විශේෂත්වයකි.
