ශ්‍රී ලංකාව ගැන ජිනීවා යෝජනාවේ අවසන් කෙටුම්පත සුදානම් ; පහසුවෙන් දිනන ලකුණු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට ඉදිරිපත් කිරීමට යන ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාවේ අවසන් කෙටුම්පත සිකුරාදා සවස සකස් කොට අවසන් කළ බව ජිනීවා නුවර ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා මධ්‍ය කණ්ඩායම ලෙස හඳුන්වනු ලබන බ්‍රිතාන්‍යය, කැනඩාව , ජර්මනිය, මලාවි ,සහ  උතුරු මසඩොනියා  යන රටවල් විසින් යෝජනාවේ මුල් පිටපත සකස් කළ අතර පසුව සියලු රටවල් සමග සාකච්ඡා කරමින් යෝජනාව සංශෝධනය කරනු ලැබී ය. එම කටයුතු සිකුරාදා අවසන් කොට තිබේ.

ඒ අනුව මේ වන විට එයට වැඩි රටවල් ප්‍රමාණයක සහාය හිමි වී ඇති බව වාර්තා වෙයි.

යෝජනාවට ශ්‍රී ලංකාව දැක්වූ විරෝධතා සැලකිල්ලට ගෙන නැති බව ද කියති.

ශ්‍රී ලංකාව දැඩි ලෙස විරුද්ධ වී ඇත්තේ යෝජනාවේ 6 , 7 , 8 වගන්ති වලට ය.

යුද සමයේ සහ ඉන් පසුව ශ්‍රී ලංකාවේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව යෝජනාවේ 6 වැනි  වගන්තියේ සඳහන් වන අතර 7 වැනි වගන්තියේ සඳහන් වන්නේ පසුගිය වසරක කාලය තුළ රටේ සිදු වූ ක්‍රියා පිළිබඳව ය. අධිකරණයේ ස්වාධීනත්වය අහෝසි කිරීම , ඇතැම් නඩු විභාගවලට සහ පරීක්ෂණ වලට කළ බලපෑම් ආදිය එයට ඇතුළත් ය. එයින් කියන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ දිශාවට ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින බවයි.

මෙම 6 සහ 7 වගන්ති දෙක ම ඉවත් කළ යුතු බවට ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී ඒ චන්ද්‍රප්‍රේම මහතා තර්ක කොට ඇතත්, එම තර්ක පිළිගෙන නැත.

8 වැනි වගන්තියෙන් කියවෙන්නේ කොවිඩ් මෘතදේහ බලෙන් ආදාහනය කිරීම පිළිබඳව ය. එය දැන් නවතා  ඇති බවත්, ඒ නිසා මෙම වගන්තිය අනවශ්‍ය බවටත් , චන්ද්‍රප්‍රේම මහතා කරුණු දක්වා ඇතත් , එම වගන්තිය ඉවත් කොට නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ද අවසන් කෙටුම්පතට ඉල්ලීමක් ඇතුළත් කොට ඇති බව වාර්තා වෙයි. මුල් කෙටුම්පතෙහි නොතිබූ එම වගන්තිය එකතු කොට ඇත්තේ ඉන්දියාවේ යෝජනාව අනුව බව කියති.

මෙම සතියේ සභාගත කෙරෙන මෙම යෝජනාව ලබන 22 දා හෝ ආසන්න දිනක දී ඡන්ද විමසීමට යොමු කරනු ඇතැයි ජිනීවා ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *