පළාත් සභා ඡන්දය ඉක්මනින් තියන්න උපදෙස් දුන්නා – ජනාධිපති ; එහෙම තියන්න බෑ – ඇමති සරත් වීරසේකර


පළාත් සභා ඡන්දය ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන ලෙස තමන් මැතිවරණ කොමිසමට සහ පළාත් සභා ඇමතිවරයාට උපදෙස් දුන් බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළ ද මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා ඊයේ ප්‍රකාශ කොට ඇත්තේ එබඳු තීරණයක් ගෙන නැති බව සහ ඡන්දය තිබිය යුත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් පසුව බව යි.
ජනතාවගෙන් තේරී පත් වූ නියෝජිතයින් නොමැතිව පළාත සභා දිගට පවතින්නට ඉඩදිය නොහැකි බවත් , එම ඡන්ද ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් මැතිවරණ කොමිසන් සභාවට උපදෙස් දුන් බවත් , ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ පළාත් සභාවල හිටපු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග පසුගිය බදාදා පැවති සාකච්ඡාවක දී ය. ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පළාත් සභා විෂය භාර ඇමති ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාට උපදෙස් දී ඇති බව ද ජනාධිපතිවරයා පැවසී ය.
ඊයේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මේ පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂාව පිලිබඳ ඇමති සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ, පළාත් සභා ඡන්දය එලෙස ඉක්මනින් පැවැත්වීමට ආණ්ඩුව තව ම තීරණයක් ගෙන නැති බව යි. පළාත් සභා ඡන්දය පැවැත්විය යුත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කොට සියලු බලය මධ්‍යම ආණ්ඩුවට ගැනීමෙන් පසුව පමණක් බව ඇමති වීරසේකර මහතා පවසා තිබේ.
පළාත් නවයට නීති නවයක් තිබිය නොහැකි බවත් , රටට ම තිබිය යුත්තේ එක නීතියක් බවත්, එමනිසා පළාත් සභාවලට ඉඩදිය නොහැකි බවත් වීරසේකර මහතා වැඩිදුරටත් පවසා තිබේ.
මෙය ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ තීරණයට එළිපිට ම අභියෝග කිරීමක් බව පෙනෙන්නට තිබේ .
