ජිනීවාහි දී ශ්‍රී ලංකාවට සහය දෙන, නොදෙන බවක් ආසියානු රටවල් තවම කියා නැහැ – විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන

එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ජිනීවා සමුළුවේ දී ශ්‍රී ලංකා රජයට එරෙහිව ඉදිරිපත් කිරීමට යන යෝජනාව පිළිබඳව ඉන්දියාව ,පකිස්ථානය , බංගලිදේශය ඇතුළු ආසියානු රටවල් සමග තමා සාකච්ඡා කළ බවත්, එම රටවල් කිසිවක් යෝජනාව ගැන තම ස්ථාවරය ප්‍රකාශ  නොකළ බවත් විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලංකාවට සහය දෙන බව ඔවුන් නොකී බවත්, විරුද්ධ වන බවක් ද නොකී බවත් ඇමතිවරයා කියයි.

ආසියානු රටවල සහය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව තමන් අපේක්ෂා කරන බවත්, කෙසේ වෙතත් එම ප්‍රතිචාර දැන ගැනීමට යෝජනාව සභා ගත කරන තෙක් සිටීමට සිදුවන බවත් , විදේශ ඇමතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කොට ඇත්තේ ‘සිලෝන් ටුඩේ’ මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මොහාන් කළ විමසුමකට ප්‍රතිචාර වශයෙනි.

එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණඩායමට අයත් බ්‍රතාන්‍යය ,කැනඩාව, ජර්මනිය , උතුරු මසඩොනියාව සහ මලාවි යන රැලවල් විසින් කෙටුම්පත් කොට ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව මේ දිනවල අනෙකුත් සාමාජික රටවල් සමග සාකච්ඡා කරමින් සංශෝධනය කරන බව ජිනීවා නුවරින් වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ ජිනීවා නිත්‍ය නියෝජිත සී ඒ චන්ද්‍රප්‍රේම මහතා කෙටුම්පත සංශෝධනය කිරීමේ සාකච්ඡා සඳහා සහභාගී වුව ද ඔහුගේ විරෝධතා නොතකා ශ්‍රී ලංකා රජයට විවේචන දැඩි කරමින් නව කෙටුම්පත සැකසී ඇති බව ජිනීවා නුවර ආරංචි මාර්ග කියයි.

චීනයේ සහ රුසියාවේ නිශේධ බලය ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට යොදවනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඇතැමුන් කියතත් ,ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ කිසිදු රටකට නිශේධ බලයක් හිමි නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *