ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා උපාය මාර්ගය අවුල් වෙයි ; විකල්ප යෝජනාවක් නැහැ ; රජයට එරෙහි යෝජනාව ඒකමතිකව සම්මත වන ලකුණු

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට යන බරපතල නිර්දේශ ඇතුලත් යෝජනාවට විකල්ප යෝජනාවක් ඉදිරිපත් නොවී ඒකමතිකව සම්මත වන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි.

එයට හේතු වී ඇත්තේ රජය පැත්තෙන් ගතයුතු පියවර කිසිවක් ගත නොහැකි වීම යි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවල සහ රජයේ නිලධරීන්ට එරෙහිව සම්බාධක පැනවීම, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වලින් ශ්‍රී ලංකා හමුදාව ඉවත්කිරීම සහ ජාත්‍යන්තර අධිකරණ  හමුවේ නඩු පැවරීම සඳහා යෝජනා මෙම සමුළු යෝජනාවට ඇතුලත් වනු ඇති බව  කියති.

එයට එරෙහිව ශ්‍රී ලංකාව වෙනුවෙන් විකල්ප යෝජනාවක් ඉදිරිපත් කිරීමට මුස්ලිම් රටවල සහය ලබාදීමට පාකිස්ථානය ඉදිරිපත් වී සිටි අතර බංගලා දේශය, ඉන්දුනීසියාව , බහරේන් ඇතුළු රටවල් රැසක් එයට සහය දීමට සුදානමින් සිටයේ ය.

කෙසේ වෙතත් , මුස්ලිම් රටවල ඉල්ලීමක් වුයේ කොවිඩ් නිසා මියයන මුස්ලිම් ජාතිකයන්ට ඔවුන්ගේ ආගමික නියමය අනුව භුමදානයට ඉඩ දෙන ලෙස යි.

එම ඉල්ලීම ඉටු කරන බව ශ්‍රී ලංකා ජනාධිපති ඇතුළු නායකයින් මුලින් පොරොන්දු වී සිටිය ද ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් එල්ල වූ විරෝධය හමුවේ මේ වනවිට එම ස්ථාවරය වෙනස් කොට තිබේ.

ඒ අනුව මානව හිමිකම් කොමිසමට විකල්ප යෝජනාවක් ඉදිරිපත් කිරීම ද කඩා කප්පල් වී තිබේ.

මේ අතර තම යෝජනාව ඉදිරිපත් නොකිරීමට නම් මානව හිමිකම් ප්‍රශ්න විසඳීමට ශ්‍රී ලංකා රජය ගන්නා විකල්ප පියවර දැනුම් දෙන ලෙස යෝජනාවට පෙරමුණ ගෙන සිටින බ්‍රතාන්‍යය , කැනඩාව සහ ජර්මනිය ඇතුළු රටවල්  ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇතත්, ඔවුන්ට පිළිගත හැකි මට්ටමේ යෝජනා රජයෙන් ඉදිරිපත් වී නැති බව කියති. රජයේ ප්‍රතිචාරය සියලු චෝදනා ප්‍රතික්ෂේප කිරීම පමණක් බව අනෙක් රටවල මතය වී තිබේ.

මෙලෙස ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ සමුළුව සම්බන්ධ රජයේ උපාය මාර්ගය සම්පුර්ණ අවුලක් බවට පත්ව ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *