ආණ්ඩුවට ජිනීවා සටන බරපතළයි ; මුස්ලිම් මෘතදේහ බලෙන් පුච්චන ආණ්ඩුව පිහිට පතා මුස්ලිම් රටවල් පසුපස යයි

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සභාවාරයට මිචෙල් බචලේ මහලේකම්තුමිය ඉදිරිපත් කිරීමට යන වාර්තාවත් ඒ අනුව එහි සම්මත කිරීමට යන බව කියන යෝජනාත් ආණ්ඩුවට බරපතළ අවාසිදායක තත්ත්වයක් මතුකොට ඇති බව වාර්තා වෙයි.
එම වාර්තාවල කරුණු වෙනස් කර ගැනීමට ශ්‍රී ලංකා රජය මෙතෙක් දැරූ උත්සාහයන් ව්‍යර්ථ වී ඇත. දැන් රජය ප්‍රකාශ කොට ඇත්තේ වාර්තාව සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව යි.
මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට යම් සම්බාධක පැනවීමේ යෝජනාවක් සම්මත වීමට ඉඩ ඇති බවත් , ඒ අනුව එක් එක් රටවල් නිදහසේ කටයුතු කරමින් තම රටවලට ඇතුළුවීම යම් යම් නිලධරීන්ට තහනම් කිරීමට සහ ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීමටත් කටයුතු කරනු ඇති කියති.
ඇතැම් කරුණු සම්බන්ධයෙන් යුධ අපරාධ පිලිබඳ ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කිරීමට ද යෝජනාවෙන් අවකාශ සැලසෙනු ඇති බව කියති.
එමෙන් ම එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම්වලින් ශ්‍රී ලංකා හමුදාව ඉවත් කිරීමට ද කටයුතු කරනු ඇත.
මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට ගතහැකි ආරක්ෂක පියවරක් වන්නේ ශ්‍රී ලංකාවට පක්ෂව යෝජනාවක් සාමාජික රටවල් මගින් ඉදිරිපත් කරව ගැනීමයි.
එබඳු යෝජනාවක් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 47 න් 15 ක සහය ලැබිය යුතු නමුත්, මේ වනවිට එතරම් රටවල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත්ව නැති බව කියති.
මේ නිසා ආණ්ඩුව ඉන්දියාවට පසමිතුරු මුස්ලිම් රටවලින් ආධාර ගැනීමට උත්සාහයක නිරත වී ඇති බවත් , ඒ සඳහා පාකිස්තානයේ ආධාර ඉල්ලා ඇති බවත්, වාර්තා වෙයි.
පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ හදිසි ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ එම පසුබිම යටතේ බව ද දැනගන්නට ඇත.
මේ අතර , ශ්‍රී ලංකා රජය මෙරට මුස්ලිම් වරුන්ගේ ආගමික ඇදහිලි නොතකා , ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ද පසෙක ලමින් මුස්ලිම් ජනයාගේ මෘතදේහ බලෙන් ආදාහනය කිරීම ගැන අගමැති ඉම්රාන් ඛාන් මහතා දැනුවත් කිරීමට මෙරට මුස්ලිම් ප්‍රජා සංවිධාන කිහිපයක් සුදානමින් සිටින බව ද , කියති.
ශ්‍රී ලංකා රජයට එරෙහි ජිනීවා යෝජනාව ඉදිරිපත් කිරීමට මුලිකත්වය නොගන්නා ලෙස ඉල්ලීමට විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට කැනඩා මහ කොමසාරිස්වරයා ගෙන්වා සාකච්ඡා කළ නමුත්, රජයේ ඉල්ලීමට කැනඩාව එකග නොවූ බව ද වාර්තා වෙයි.
