මන්ත්‍රීවරුන් 31 ක් නිරෝධායනයට ; තවත් අය ගැන පරීක්ෂණ

කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගනු ලැබ ඇති දයාසිරි ජයසේකර ,වාසුදේව නානායක්කාර සහ රවුෆ් හකීම් යන මැති ඇමතිවරුන්ගේ සහ අගමැති සම්බන්ධිකරණ නිලධාරී කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ ආශ්‍රීතයින් ලෙස හඳුනාගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනකු මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමුකොට ඇති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

මන්ත්‍රීවරුන් 15 දෙනෙකු දයාසිරි ජයසේකරගේ සහ රවුෆ් හකීම්ගේ ආශ්‍රීතයින් ලෙස හඳුනාගෙන ඇත. වාසුදේව ඇමතිවරයාගේ ආශ්‍රීතයින් ලෙස දැනට හඳුනාගෙන ඇති සංඛ්‍යාව 10 කට වැඩි බව කියති . පසුගිය සතියේ දින හතරක් ම පාර්ලිමේන්තු පැමිණ ඇති වාසුදේව මහතාගේ ආශ්‍රීතයින් හඳුනාගැනීම තවදුරටත් සිදුවෙමින් පවතියි.

සියලු මැති ඇමතිවරුන් සඳහා පී සී ආර් පරීක්ෂණ කිරීමට 13 සහ 14 දිනවල පාර්ලිමේන්තුවේ පහසුකම් සලසා ඇති බවත්, එයට සහභාගී වන ලෙසත්, කතානායක කාර්යාලය සියලු මැති ඇමතිවරුන්ට දැනුම් දී තිබේ.

මෙම සතියේ පාර්ලිමේන්තුව කලින් නියම කරගත් පරිදි රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *