තවත් උදවු ඉල්ලන්න කලින් පරණ පොරොන්දු ඉටු කරන්න ; ඉන්දියාව තදින් සිටී !

ශ්රී ලංකා රජයට තව දුරටත් උපකාර කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින නමුත්, ඊට පෙර ඉන්දියාව සමග මෙතෙක් වරින්වර ගිවිස ගෙන මෙතෙක් ඉටුකොට නැති පොරොන්දු ඉටු කරන ලෙස ඉන්දියානු රජය ශ්රී ලංකා රජයට දැනුම් දී ඇති බව තතු දත් දේශපාලන නිරීක්ෂකයෝ කියති .
ඉන්දීය විදේශ ඇමතිවරයාගේ ශ්රී ලංකා සංචාරයේ අරමුණ වී ඇත්තේ මෙම දනුම් දීම අවධාරණය කිරීම බව නිරීක්ෂකයෝ වැඩි දුරටත් පවසති.
වසර තිහක් පැරණි ඉන්දු ලංකා ගිවිසුමත් , යුද්ධය අවසන් වූ අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්දියාවට දුන් පොරොන්දුවත් අනුව 13 වැනි සංශෝධනය ක්රියාත්මක කිරීම සහ ඉන් එහා ගිය විසඳුමක් ලබාදීමත් , කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, සාම්පුර් හි විදුලි බලාගාරය ඇතුළු ඉන්දියාවට දුන් අනෙකුත් පොරොන්දුත් ඉටුකරන ලෙසත්, ඉන්දියාව දැඩි ලෙස ඉල්ලා සිටින බව වාර්තා වෙයි.
ශ්රී ලංකාව මුහුණ දී සිටින ණය අර්බුදය හමුවේ ඩොලර් මිලියනයක හදිසි ණයක් ඉන්දියාවෙන් ඉල්ලා ඇති අතර එය ලබාදීමට පෙර කලින් වූ පොරොන්දු ඉටු කරන ලෙස ඉන්දියාව ඉල්ලා ඇත.
ඉන්දියානු විදේශ ඇමතිවරයාගේ සංචාරයෙන් පසු නිකුත් කළ නිවේදනවල දී ඉන්දියාව ප්රකාශ කොට ඇත්තේ ඉහත කී කටයුතුවලින් යහපත අත්වන්නේ ශ්රී ලන්කාවට ම බව යි.
මේ අතර විපක්ෂයේ ප්රකාශකයකු කීවේ ගොටාභය රාජපක්ෂ මහතා බලයට ගෙන එන්නට ඉන්දියාව තිරයෙන් පිටුපස සිට විශාල වැඩ කොටසක් කළ බව යි. පාස්කු ඉරිදා ප්රහාරය මෙහෙයවන ලද්දේ ඉන්දියානු රෝ ඔත්තු සේවය බවට ද ඔහු සැක පහළ කළේ ය. එම ආධාර ලබා ගැනීමට ඉන්දියාවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජයට දැන් සිදු වී ඇති බව එම විපක්ෂ ප්රකාශකයා කීය.
