20 ඡන්දය දී ඇමතිවරු දැන් ගුටි කති ; කැපිලි , කෙටිලි ගැන ප්‍රසිද්ධියේ හඬා වැටෙති

සුපිරි ජනාධිපති තනතුරක් ඕනෑ කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට ඡන්දය දුන් ඇමතිවරු මේ වනවිට තමන්ට සිදුවන කැපිලි , කෙටිලි ගැන ප්‍රසිද්ධියේ හඬා වැටෙන තත්ත්වයට පත්ව සිටිති.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයෙන් තමන්ට කැපිල්ලක් ඇති බව සහ ආණ්ඩුවේ දිනමිණ පුවත්පතේ කාටුන් පළ කරමින් තමන්ට පහර දෙන බවකි. ජනාධිපති කාර්යාලය සමග ඇමතිවරයාගේ ගැටුම දුර දිග ගොස් ඇති ආකාරය එයින් පෙන්නුම් කළේ ය.
වන ජීවී සහ වන සංරක්ෂණ ඇමති සී බී රත්නායක මහතා ද , පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළේ තමන්ට එහෙනුත් මෙහෙනුත් කැපිලි ඇති බවයි. එයට ඌන පුරණයක් කරමින් අනුර කුමාර දිසානායක මහතා කීවේ වන සංරක්ෂණ ඇමතිකම සී බී රත්නායක මහතාට දී ඇතත් ඒ මහතා යටතට පත්කොට ඇත්තේ එක් රාජ්‍ය ආයතනයක් පමණක් බවයි. ඒ රාජ්‍ය දව සංස්ථාවයි.
ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා කීවේ මහජන උපයෝගිත කොමිසම අහෝසි කළේ ඇමතිවරයා වන තමන්ගෙන් විමසීමක් පවා නොකර බවයි. ඒ ගැන මී ළඟ කැබිනට් රැස්වීමේ දී ප්‍රශ්න කරන බව ඒ මහතා කීය.
මහජන උපයෝගිත කොමිසම අහෝසි කිරීමට එරෙහිව වාසුදේව නානායක්කාර ඇමතිවරයා ද තම විරෝධය පල කරමින් අගමැතිතුමා වෙත ලිපියක් යවා ඇත.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ද තමන්ට නොදන්වා වස දමන්නට යන බවට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශකොට ඇති බව ද වාර්තා වීය.
ඇමතිවරුන් සිටිය දී ඔවුන්ට නොදන්ව ඔවුන් යටතේ ඇති රාජ්‍ය ආයතන ජනාධිපති කාර්යාලයෙන් මෙහෙයවන තත්ත්වයට පත් වී ඇති බවට තවත් ඇමතිවරු මැසිවිලි නගමින් සිටින බව ද දැනගන්නට ඇත.
ජනාධිපති කාර්යාලයේ ඇතැම් තීරණ රටේ නීතියට සහ ව්‍යවස්ථාවට ද පටහැනි බවට චෝදනා නැගී ඇත.
මහජන උපයෝගිත කොමිසම අහෝසි කිරීම සහ අයවැයෙන් මුදල් වෙනකොට නැති අමාත්‍යංශ හදිසියේ පිහිටුවීම එබඳු ක්‍රියා බව කියති. ඒවා නීත්‍යනුකුල කළ හැක්කේ පාර්ලිමේන්තුවේ නීති සහ මුදල් කිරීමෙන් පසුව පමණකි.
