පරිප්පු, සැමන්, සීනි, ලොකු ලූනු අඩුමිලට දීමෙන් සතොසට ලක්ෂ 600ක් පාඩුයි

ලොකු ලූනු කිලෝවක් රුපියල් 100කට, සැමන් ටින් එකක් රුපියල් 200කට, සුදු සීනි කිලෝවක් රුපියල් 85කට, පරිප්පු කිලෝවක් රුපියල් 150කට අලෙවි කිරීම නිසා ලංකා සතොස ආයතනයට රුපියල් ලක්ෂ 600ක පාඩුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදී ගත් තීරණයක් අනුව ඔක්තෝබර් මස 14 වැනි දින සිට ලොකු ලූනු, සැමන්, පරිප්පු සහ සීනිවල විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කරලීමට තීරණය කරන ලදී.

එම වාසිය ජනතාවට හිමි කර දෙනු පිණිස ලංකා සතොස මඟින් අඩු කළ මිලට භාණ්ඩ අලෙවි කිරීමට තීරණය කළ අතර ඒ මඟින් සිදු වන අලාභය පසුව ප්‍රතිපූරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබිණි.

ඒ අනුව ඔක්තෝබර් මස 13 වැනි දිනය වන විට පැවැති තොග අනුව සතොසට මෙම අලාභය සිදුව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙසේ අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත ලබාදීම හේතුවෙන් සතොස ආයතනයට සිදුව ඇති අලාභය මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපූරණය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ධනුෂ්ක ගොඩකුඹුර

දිනමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *