මහජන උපයෝගිතා කොමිසම වහන්න ජනාධිපතිට බලයක් නැහැ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

මහජන උපයෝගිතා කොමිසන් සභාව වසා දැමීමට ජනාධිපතිවරයාට බලයක් නැති බවත් , එය අහෝසි කරන ලෙස දන්වා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා භාණ්ඩාගාරයේ ලේකම්ට දී තිබෙන නියෝගය නීති විරෝධී බවත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු පනතකින් පිහිටුවා ඇති මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් පමණක් බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට තිබේ.

එජාප ක්‍රියාකාරීන් සමග අද සිය නිවසේ පැවතී හමුවක දී වික්‍රමසිංහ මහතා මේ අදහස් පලකොට තිබිණි.

මහජන උපයෝගිතා කොමිසම පිහිටුවන ලද්දේ 2001- 2004 කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටිය දී ය.

ඒකාධිකාරී රාජ්‍ය ආයතනයක්ව පවතින ලංකා විදුලිබල මණ්ඩලයේ හිතුවක්කාර ගනු දෙනු, මිල වැඩිකිරීම් ආදීය පාලනය කරමින් පාරිභාගිකයන්  ආරක්ෂා කිරීම සහ  දුෂණ අවම කිරීමත් මෙහි අරමුණ වීය.

පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවා ඇති එයට නිශ්චිත බලතල ප්‍රමාණයක් ද හිමිකර දී තිබේ.

පසුගිය දා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා භාදාගර ලේකම්වරයාට දැනුම් දුන්නේ මෙම ආයතනය වසා එහි සේවකයින් ද වෙනත් ආයතනවලට අහුයුක්ත කරන ලෙසයි.

මෙම නියෝගයට පාරිභෝගික සංවිධානවල මෙන් ම ආයතනයේ සේවකයින්ගෙන් ද විරෝධය එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *