“බුරවි“ සුළි කුණාටුව රාත්‍රී 7.00 – 10.00 අතර මුලතිව්වලින් පැමිණ උදේ මන්නාරමින් යයි

“බුරවී’ නමින් හඳුන්වා ඇති සුළි කුනාටුව අද රාත්‍රී 7.00 සහ 10.00 අතර කාලයේ මුලතිව් ආසන්න වෙරළින් රට තුළට ඇතුළුවනු ඇතැයි ද , එය  රට හරහා ගමන් කොට හෙට උදෑසන මන්නාරම ආසන්නයෙන් ඉවතට ගමන් කරනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .

ත්‍රිකුණාමලය , කන්කසන්තුරය සහ පුත්තලම අතර ප්‍රදේශය “බුරවි“ සුළි කුණාටුවේ දැඩි බලබාමට ලක්වනු ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සුළි කුණාටුව අද (02) උදෑසන 8.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 200 නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පැවතියේ ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එය ත්‍රිකුණාමලය හා පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළෙන් දිවයිනට අද රාත්‍රී 7.00 – 10.00 ත් අතර ළඟා වේ යැයි බලාපොරොත්තු වන බවය.

සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 -90 පමණ වන අතර විටින් විට පැ.කි.මී 100 දක්වා වැඩි වී, ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදෑසන වන විට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

උතුරු සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන අතර ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි තද වැසි ඇති විය හැකිය.

නැගෙනහිර, උතුරු මැද, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන අතර ඇතැම් ස්ථානවල මි.මී 100ක පමණ තද වැසි ඇති වේ.

උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට පැ.කි.මී 60 -70 පමණ දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකිය.

සෙසු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී 40 -50 පමණ දක්වා වන සුළං ඇති වේ.

ජනතාවට දැඩි අවදානයෙන් පසුවෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *