ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවත් ජනාධිපතිවරයාට සිය අභිමතය අනුව කටයුතු කළ හැකියි – මෛත්‍රී කියයි

රාජ්‍ය පාලනය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ගැසට් නිවේදන වැනි නෛතික ලියවිළිවල කුමක් සඳහන් වුවද, ප්‍රයෝගිකව ඇතිවන ගැටළුවලදී ජනාධිපතිවරයාට සිය අභිමතය නෛතික රාමුවට පරිභාහිරව කටයුතු කළ හැකිබව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (24) හත්වන දිනටත් සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කළේ, 2018 වර්ෂයේ ඔක්තෝබර් මස එවකට සිටි ඇගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත් කිරීම තමන්ට එලෙස කටයුතු කිරීමට සිදුවු එක් අවස්ථාවක් බවය.
එහිදි අනෙකුත් වගඋත්තරකාර පාර්ශ්ව නියෝජනය කරන නීතිඥවරුන් හරස් ප්‍රශ්න විමසීම ද සිදුකෙරුණි.
මේ අතර හිටපු ජනාධිපතිවරයා වෙත හරස් ප්‍රශ්න යොමු කිරීමට පෙර අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජ්‍ය කරන ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 ජුනි මස 17 වන දින “බී.බී.සි සිංහල“ සේවයට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාව ජනාධිපති කොමිසම හමුවේ වාදනය කිරීම අවසර ඉල්ලා සිටියේය.
පසුව අදාළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා, “හිටපු ජනාධිපතිතුමනි, මෙම පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දි හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කොමිසම හමුවේ සාක්ෂි දී තිබෙනවා ප්‍රහාරයේ වගකීම සාමුහිකව භාරගන්න ඕනේ කියලා. ඔබ සුදානම් නැද්ද එහෙම සාමුහිකව වගකීම භාරගන්න” යනුවෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, “එහෙම පුළුවන්කමක් නැහැ ස්වාමිනි,” යන්න ය.
“ඔබ මෙම සම්මුඛ සාකච්ඡාවේ සඳහන් කරලා තියෙනවා ඔබ සුදානම් නැහැ මේ ප්‍රහාරයෙන් අගතියට පත්වුණ පාර්ශ්ව වෙනුවෙන් කණගාටුව පළ කරන්න කියලා. මම යෝජනා කරනවා මා නියෝජනය කරන කතෝලික ජනතාව වෙනුවෙන් ඔබ කණගාටුව පළ කරන්න ඕනේ කියලා,” යැයි ජනාධිපති නීතිඥවරයා යෝජනා කර සිටියේය.
“මේ සිදුවීම සම්බන්ධයෙන් මම අවස්ථා රැසකදී කණගාටුව පළ කරලා තියෙනවා ස්වාමිනි. කාදිනල් හිමිපාණන් කියන්නේ මගේ පාලන කාලයේදී මම ඉතා මිත්‍රශීලිව ඇසුරු කළ කෙනෙක්. මම කතෝලික ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කරලා තියෙනවා. නමුත් මේ සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වුණ මාධ්‍යවේදියා සමග මම බහින් බස්වීමක් වුණා උසාවියක වගේ මගෙන් ප්‍රශ්න අහනවා කියලා. මම ඔහුට කිව්වා මේ සම්මුඛ සාකච්ඡාව දාන්නත් එපා කියලා. නමුත් ඔවුන් මේක සම්පූර්ණයෙන්ම සංස්කරණය කරලා දාලා තියෙන්නේ. මම කියපු වැදගත් කරුණු කිසිවක් මෙහි නැහැ,” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.
ඉන් අනතුරුව ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වු පාස්කු ඉරුදින සහ ඊට පෙර දින ඔබ සිංගප්පුරුවේ රෝහලකින් ප්‍රතිකාර ලබාගත් බව සහතික කළ හැකි වෛද්‍ය වාර්තා ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ හැකිද යන්නය.
අදාළ වාර්තා ඉදිරිපත් කළ හැකි යැයි සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය වාර්තා 13 කින් සමන්විත ගොනුවක් කොමිසම් සභාව වෙත ලබාදෙමින් විශේෂ ඉල්ලීමක් සිදුකළේය.
“ස්වාමිනි පුද්ගලයෙකුගේ සෞඛ්‍ය වාර්තා කියන්නේ පෞද්ගලික දෙයක්. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙම වෛද්‍ය වාර්තා කොමිසම් සභාවේ සමාජිකයින් පමණක් අධ්‍යනය කරන ලෙස. ඒ හැර වෙනත් කිසිඳු නීතිඥවරයෙකුට හෝ පාර්ශ්වයකට එය අධ්‍යනය කිරීමට අවසර දෙන්න එපා,” යැයි හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිබඳ සලකා බැලු ජනාධිපති කොමිසම් සභාව එම වාර්තා වෙනත් පාර්ශ්ව වෙත ලබා නොදී තමන් පමණක් අධ්‍යනය කරන බව විවෘත කොමිසමට දැනුම්දුන් අතර එහිදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් නැගි සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අදාළ වාර්තා සම්බන්ධයෙන් ඉල්ලීමක් කළේය.
ඒ “ස්වාමිනි, එම පෞද්ගලික වාර්තාවල අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මට දැනගත යුතු නැහැ. නමුත් මගේ සේවාදායකයා වෙනුවෙන් සිදුකරන හරස් ප්රශ්නවලදී මට අදාළ වෛද්‍ය වාර්තාවල දින සහ කාලවකවානු ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳ අප දැනුවත් කරන්න කියලා,” යනුවෙනි.
එම ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වු ජනාධිපති කොමිසමේ සභාපතිවරයා, “ඔබට අවස්ථාව දීලා තියෙනවා ඔබේ සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටින්න. නමුත් පුද්ගලයෙකුගේ වෛද්‍ය වාර්තාව කියන්නේ පෞද්ගලික දෙයක්. ඒ නිසා කොමිසම් සභාව තීරණය කර තිබෙනවා එම වාර්තාව කොමිසම් සභාවේ සමාජිකයින් පමණක් අධ්‍යනය කළොත් ප්‍රමාණවත් කියලා,” යැයි සඳහන් කළේය.
ඉන් අනතුරුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය.
“මහජන ආරක්ෂක පණතේ 5 වගන්තිය ප්‍රකාරව ජාතික ආරක්ෂක කවුන්සිලය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පැහැදිළිව සඳහන් වෙනවා. ජාතික ආරක්ෂක කවුන්සලයට එහි නිත්‍ය සමාජිකයින් අනිවාර්යයෙන්ම කැඳවිය යුතුයි කියලා. එහෙම තියෙද්දිත් ඔබතුමා ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සමාජිකයෙකු වන පොලිස්පතිවරයා 2018 ඔක්තෝබර් මාසයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැඳවීම නීතියේ විධිවිධානවලට පටහැනිව සිදුකළ ක්‍රියාවක් නේදැයි,” ජනාධිපති නීතිඥවරයා එහිදී විමසීමක් කළේය.
“ගැසට් නිවේදනවල සහ නීතිපොත්වල එහෙම තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රයෝගිකව මට ප්‍රශ්නයක් ඇති වුණාම මට විශ්වාසවන්ත නැත්නම් මම කැඳවන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි විශ්වාසවන්ත කෙනෙක් ගෙන්වා ගන්න පුළුවන්. ඒකයි මම එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවුවේ,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.
“හරි එහෙනම් ඔබතුමා මට පෙන්වන්න ඔය කිව්ව විදිහේ අභිමතයක් ජනාධිපතිවරයාට ගැසට් නිවේදනයේ කොහෙන්ද ලබාදීලා තියෙන්නේ කියාලා,” යැයි ජනාධිපති නීතිඥවරයා පෙරළා ප්‍රශ්න කළේය.
“ගැසට් නිවේදනයේ නැති වෙන්න පුළුවන්. හැබැයි මට විශ්වාසයක් නැත්තම් මම කැඳවන්නේ නැහැ. පොලිස්පතිවරයා නෙමේ, මම අගමැතිවරයාවත් අස් කළා මට විශ්වාසයක් නැති නිසා. අගමැතිවරයා විතරකුත් නෙමේ, මම කැබිනට් මණ්ඩලයත් මාරු කළා මට විශ්වාස නැති නිසා,” යැයි හිටපු ජනාධිපතිවරයා එවර කියා සිටියේය.
එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා මෙලෙස වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
“ඔබතුමා එහෙම ඕන ඕන විදිහට අස් කළාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කළානේ එක නීති විරෝධි කියලා. ඔබතුමා එක දන්නවානේ. ඔබතුමා ඔය කියන්න හදන්නේ රටේ ප්‍රධානියා වූ පමණින් ජනාධිපතිවරයෙකුට රටේ උත්තරීතර නීතිය වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ගැසට් නිවේදනවගේ නෛතික රාමුව අභිභවා කටයුතු කරන්න හැකි කියලද?”
එහිදී මද සිනාහවක් සමගින් හිටපු ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු දුනි,
“නැහැ මම එහෙම්මම කියන්නේ නැහැ. නමුත් නීතියේ නැති පාලනය ගෙන යාහැකි ක්‍රම රාජ්‍ය පාලනයේ තියෙනවා. ඔය ඉන්දියාවේ කෞටිල්‍ය වගේ අය කියලා තියෙනවා රාජ්‍ය පාලනයේදි විශ්වාසවන්තම කෙනාව ළඟින් තියාගන්න කියලා.”
“ඔබතුමා එහෙම කිව්වට ඔය කියන කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයේම තියෙනවා රාජ්‍ය නායකයා වුනත් නීතියට අනුව රට පාලනය කරන්න ඕනේ කියලා,” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
“නීතියේ එහෙම තිබ්බට රාජ්‍ය පාලනයේ දී උපායශීලිව අවස්ථාවාදිව වැඩ කරන්න ඕනේ,” යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් ප්‍රශ්න කරමින් ජනාධිපති නීතිඥවරයා මෙලෙස විමසා සිටියේ ය.
“ඔබේ නියෝග මත මගේ සේවාදායක හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඉවත් කිරීමෙන් පසු, ඒ ගැන පොලිස් කොමිසම දැනුවත් කළා ඔබ හිටපු පොලිස්පතිවරයා සමග විරසක වෙලා ඔහුව ආරක්ෂක කවුන්සිලයෙන් ඉවත් කළා කියලා, මම ඔබට යෝජනා කරනවා.”
“විරසක භාවයක් තිබ්බා කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. මම ඔහු සමග බොහෝම සුහදව වැඩ කළා,” යැයි හිටපු ජනාධිපතිවරයා ඊට පිළිතුරු දුනි.
“මම ඔබට වැඩිදුරටත් යෝජනා කරනවා ඔබ ඉතාමත් බොළඳ හේතුන් මතයි හිටපු පොලිස්පතිවරයාව ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් ඉවත් කළේ කියලා,” යැයි ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළේය.
“මම එය ප්‍රතික්ෂේප කරනවා. බොළඳ හේතු මත තීරණ ගන්න කෙනෙක්ට ජනාධිපතිවරයා වෙන්න බැහැනේ,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ ය.
අද දෙරණ
