කොවිඩ් එන්නත් එකක් නොව දෙකක් එනවා ; දෙසැම්බරයේ ජනතාවට දෙන්න පුළුවන් – ඇමෙරිකානු ජාතික බෝවන රෝග අධිකාරියේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුචි

කොවි19 රෝගය සඳහා ලබාදිය හැකි එන්නත් දෙකක් ම සම්බන්ධ සායනික පරීක්ෂණ අවසන් අවස්ථාවට පැමිණ ඇති බවත්, ඒවා පිලිබඳ අවසන් තීරණ ගැනීම ඉක්මන් කොට ලබන මාසය වනවිට ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකාවේ ජාතික ආස්මිකතා සහ බෝවන රෝග අධිකාරියේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුචි මහතා ප්‍රකාශ කරයි.
ෆයිසර් සමාගමට අමතරව තවත් සමාගමක් එන්නත් නිෂ්පාදනය සාර්ථක ව සිදුකොට ඇති බව කී ඒ මහතා එන්නත් දෙක ම බොහෝ දුරට එක සමාන බව ද පැවසී ය.

මෙම එන්නත සියයට 90 කට වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම ඉතා හොඳ තත්ත්වයක් බව කී විශේෂඥ වෛද්‍යවරයා එය ගබඩා කිරීමේ හා බෙදාහැරීමේ අභියෝග සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට මේ වනවිටත් වෛද්‍ය කණ්ඩායම් යොදවා ඇති බව ද කීය .
කොවිඩ් 19 ඇතුළු වසංගත රෝග පාලනය සම්බන්ධයෙන් මේ වනවිට ඇමෙරිකාවේ සිටින ඉහළ ම බලධාරියා ඇන්තනී ෆවුචි මහතා ය.
කොවිඩ් පාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහු ජනාධිපති ට්‍රම්ප්ගේ උදහසට ලක්ව සිටියෙකි.
කොවිඩ් පාලනයේ වත්මන් තත්ත්වය පිළිබඳව CNN පුවත්සේවයේ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා වැඩි දුරටත් කීවේ එන්නතක් ලැබීම අඳුර කෙලවර ආලෝකය දැකීමක් වුවද , කොවිඩ් වලකා ගැනීමේ අනෙක් පියවර තව දුරටත් ක්‍රියාත්මක කළ යුතු බවයි.
